යුද්ධය පැවැති සමයේ අධි ආරක්‍ෂක කලාප ලෙස ප‍්‍රකාශයට පත් කරමින් ආරක්‍ෂක හමුදාව මගින් පවරා ගත් උතුරු නැගෙනහිර පලාත් වල තිබූ වගා කල හැකි ඉඩම්, යුද්ධය නිමාවී ඇති මේ අවස්ථාවේදී වගා කිරීම සඳහා තමන්ට නැවත ලබා දෙන ලෙස ඉල්ලා අදාල ඉඩම් හිමිකරුවෝ ආරක්‍ෂක ප‍්‍රධානීන් සහ ආරක්‍ෂක ලේකම්ට ලිඛිතව ඉල්ලීම් ඉදිරිපත් කොට ඇතැයි වාර්තා වේ.
මන්නාරම් ප‍්‍රදේශයේ යුධ හමුදා කඳවුරු පිහිටුවීම සඳහා පවරා ගත් වගා බිමක හිමිකාරියයක් වන ශර්මිලා රාජරත්නම් අප හා පැවසූවේ, තම ඉඩම වගා කිරීම සඳහා නැවත ලබා දෙන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය.
යුද්ධයට පෙර වගා කටයුතු සිදු කල අක්කර 2 1/2 ක් පමණ වූ මෙම සශී‍්‍රක ඉඩම තම පියාගේ උරුමයක් බව පැවසූ ශර්මිලා, මේ වන විට මව මිය ගොස් ඇති අතර පියා ඉතාමත් වයෝවෘධ තත්ත්වයේ සිටින බවත්, තම පවුලේ එකම සහෝදරිය පවා විදේශ ගතව සිටින හෙයින් තමාට නැවත අදාල ඉඩම් වගා කටයුතු ආරම්භ කිරීමට හෝ අදාල ඉඩම් වලට සාධාරණ වන්දියක් හෝ ලබාදීමට කටයුතු කරන මෙන් ඇය ඉල්ලා සිටී.
තම අනන්‍යතාවය හෙලිදරව් කිරීමට අකමැති හමුදා නිලධාරියකු අප හා පැවසූවේ හමුදා කඳවුරු ආසන්නයේ තිබෙන ඉඩම් ආරක්‍ෂක හේතුන් නිසා නැවත ලබාදීමට නොහැකි බැවින්, ආරක්‍ෂක ලේකම් ගේ උපදෙස් මත ඒ වෙනුවට විකල්ප ඉඩම් ලබාදීමට මේ වන විටත් සාකච්ඡ පැවැත්වෙමින් තිබෙන බවය.










