සියත ටීවී සියත එෆ්එම් සහ වෙට්රි එෆ්එම් ප‍්‍රවෘත්ති කාමරවලට ප‍්‍රහාරයක් එල්ල වූ බවට පොලීසියට ලැබුණු පැමිණිල්ල අන්ව ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් ඇරඹීමට පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා තීරණය කර තිබේ. පැමිණිල්ල පිළිබඳ විමර්ශන සිදු කිරීමට පරීක්ෂණ කණ්ඩායම් දෙකක් දැනටමත් යොදවා ඇති අතර ප‍්‍රහාරය එල්ල කළේ කවුද යන්න හෝ ඊට හේතුව කුමක්ද යන්න මෙතෙක් හෙළි කරගෙන නැත. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ පරිපාලනය පැවසුවේ ගොඩනැගිලි සංකීර්ණයට අලූයම එකට පමණ කඩා වැදුණු කණ්ඩායමක් ප‍්‍රහාරය එල්ල කළ බවයි. 12 දෙනෙකුගෙන් පමණ සමන්විත එම කණ්ඩායම මුහුණු ආවරණය කරගෙන සිටි බව පැවසෙයි. ගොඩනැගිලි සංකීර්ණයට ඔවුන් ගිනි තැබූ බවද වොයිස් ඔෆ් ඒෂියා පරිපාලනය පවසයි. ගින්න නිවා දැමුණේ ගිනි නිවන ඒකකයේද මැදිහත් වීමෙනි. සියත ටීවී හි විකාශන මැදිරියට දැඩි අලාභ සිදුවී ඇති අතර එහි විකාශන කටයුතු නවතා ඇත.
සියත එෆ්එම් සහ වෙට්රි එෆ්එම් හි ප‍්‍රවෘත්ති කාමරවලටත් අලාභ සිදු වී ඇත. එහෙත් ඒවායේ විකාශන කටයුතු නම් සාමාන්‍ය පරිදි සිදු කෙරෙයි. ප‍්‍රහාරයෙන් සේවකයන් තුන් දෙනෙකු තුවාල ලැබ තිබේ. ඔවුන්ගෙන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබයි. අනෙක් දෙදෙනා ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පිටව ගොස් .තිබේ.








