එංගලන්තයේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලද ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ එංගලන්තයට පැමිණි ගමනේදී රුපියල් මිලියන 16.6ක් වැය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පරීකෂණ ආරම්භ කොට තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනයට පැමිණි ශ්‍රී ලංකා රහස් පොලිස් නිලධාරීන් ලන්ඩනයේ හිටපු මහා කොමසාරිස් සරෝජා සිරිසේන පසුගිය 17 වැනි සඳුදා මහ කොමසාරිස් කාර්යාලයට කැඳවා පැය හතකට අධික කාලයක් ප්‍රශ්න කරමින් කට උත්තරයක් ලබාගත්තේය.
එයට හේතුව වූයේ වික්‍රමසිංහ මහතා 2023 වසරේ සැප්තැම්බර් මාසයේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උත්සවයට පැමිණෙනවිට ලන්ඩනයේ මහ කොමසාරිස්වරිය වශයෙන් කටයුතු කළේ සරෝජා සිරිසේන වීමය. සරෝජා සිරිසේන 2023 වසරේ නොවැම්බර් මාසයේ මහ කොමසාරිස් තනතුරෙන් ඉවත් කළද පුද්ගලික හේතුවක් මත තවමත් ලන්ඩනයේ ජීවත්වන්නීය.
රහස් පොලිසියේ නිලධාරීන් හිටපු මහ කොමසාරිස්වරියගෙන් ප්‍රශ්න කර තිබුණේ හිටපු ජනාධිපතිවරයාට ආරාධනා පත්‍රය නිකුත් කර තිබුණේ කවුද? එය නිල වශයෙන් අනුමත කර තිබුණාද? මහ කොමසාරිස් කාර්යාලය රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සරිලන ලෙස භාවිත කළාද? ආරාධනාවේ සත්‍ය අසත්‍ය බව මහ කොමසාරිස් කාර්යාලය සොයා බැලුවාද? හිටපු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය නිල සංචාරයක් බව හඟවා ආ පුද්ගලික ගමනක්ද? ජනාධිපතිවරයා එංගලන්තයට ගොඩ බැසීමේ සිට පිටත්ව යෑම දක්වා මහ කොමසාරිස් කාර්යාලය ඔහුට දුන් සේවාවන් මොනවාද? ආදී අනෙකුත් කරුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු මහ කොමසාරිස්වරියට අමතරව කලින් සතියේ මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි රහස් පොලිස් නිලධාරීන් එවකට හිටපු නියෝජ්‍ය මහා කොමසාරිස්වරිය වන මනෝරි මල්ලිකාරච්චි සහ සංචාරයට සම්බන්ධව වැඩ කටයුතු කළ අනෙක් නිලධාරීන් ගෙන් ද ප්‍රශ්න කර තිබුණි. තවමත් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන්නේ මනෝරි මල්ලිකාරච්චිය.
මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කර තම සේවා කාලය අවසන්වූ පසු නැවත ශ්‍රී ලංකාවට නොගොස් එංගලන්තයේම රැඳී සිටින තවත් නිලධාරීන් දෙදෙනකුට ද මහ කොමසාරිස් කාර්යාලයට පැමිණ කට උත්තර ලබාදෙන ලෙස දන්වා තිබුණි. ඒ අරුණ ප්‍රනාන්දු සහ ක්‍රිෂාන්ත සුබසිංහ යන දෙදෙනාටය. ඔවුන් දෙදෙනා ද පැමිණ කට උත්තර ලබා දී ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම රහස් පොලිස් නිලධාරීන් වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට ගොස් මේ සංචාරය පිළිබඳව විමසීමට අදහස් කර නොමැති බවයි.
සුජීව නිවුන්හැල්ල
Divaina

එතකොට ඔය එක් නියෝජ මහා කොමසර නෝන ගෙ jvp මහත්තය කාර්යාල වාහන අවභාවිතා කලා කියලා ගියපු කතාව පරික්ෂා කරේ නැද්ද
ReplyDelete