සලේගෙන් තොරතුරු... විශේෂ අයගෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..


පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන තොරතුරු මත තවත් විශේෂිත පුද්ගලයන් කීපදෙනකුගෙන්ම ඉදිරියේදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට විශේෂ ආරක්ෂාවක් යටතේ සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් කරගෙන යන බවද එම ආරංචි මාර්ග කියාසිටියේය.

පුද්ගලයන් 269 දෙනකුට මරු කැඳවමින් පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවෙන් පසු පැවැත්වූ පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදී ඇති සාක්ෂිකරුවන්ට මෙන්ම ඊට අදාළ වැදගත් තොරතුරු සැපයූ පාර්ශ්වවලට බලපෑම් එල්ලවිය හැකි බැවින් සුරේෂ් සලේ මහතා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් මේ සඳහා අනුමැතිය ලබාදී තිබේ.

ඉකුත් 25 වැනිදා පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ මහතා පැය 72ක කාලයක් රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කෙරිණි.

එම පැය 72ක කාලය අවසන් වීමෙන් පසු සලේ මහතාගෙන් තවත් ප්‍රශ්න කිරීම් සිදු කිරීමට අවශ්‍ය නිසා දින 90ක් ඒ සඳහා ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලදී. මේ වනවිට විශේෂ ආරක්ෂාවක් යටතේ සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ රඳවා සිටියි.

හේමන්ත රන්දුණු
Divaina

Previous Post Next Post