ජනතාවගේ ජීවිත දශමයකින් හරි පහසු කරන්න පුළුවන්නම් අපි ඒ දේ කරනවා. ජනතාවාදී රජයක් ලෙස ජනවරමට අනුව සැලසුම්සහගත වැඩපිළිවෙලක් යටතේ රට ඉදිරියට ගෙනියනවා’ යැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ දුරගමන් මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීම (Online Sheet Booking) පිළිබද දැනුම්වත් කිරීම සදහා බත්තරමුල්ල, ‘මගනැගුම මහමැදුර’ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී ( 05 ) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
" දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ (Online Sheet Booking) පහසුකම දැන් තියෙනවා. නියමු ව්‍යාපෘතියක් හැටියට අපි මේක ආරම්භ කලේ පෞද්ගලික බස් රථවලින්. මේනිසා මගීන්ට තමන්ගේ බස් එක තියෙන වෙලාව බලලා ඒ අනුව බස් නැවතුමට එන්න පුළුවන්. රස්තියාදු වෙන්න ඔනි නෑ. ආසන වෙන් කරන ක්‍රියාවලියේදී තිබුණු යම් යම් ගැටළු මේ නිසා නැතිවෙනවා. සමහර අවස්ථාවලදී වෙන්කල ආසනය අහිමිවීම, බස් රථයේ ගමන් වාරය හදිසියේ අවලංගු වීම වගේ දේවල් විතරක් නෙමෙයි ආසන වෙන් කරන්න අධික මුදලක් ගෙවීමට සිදුවීමත් මේ නිසා නැතිවෙනවා.
සමහර අවස්ථාවලදී ආසනය වෙන්කරන්න රුපියල් 200 – 300 අතර මුදලක් ගෙවන්න සිද්ධවුණා. මේ නව ක්‍රමය නිසා එක් ආසන වෙන්කිරීමකට ගෙවන්න වෙන්නේ රු. 30 ක් වගේ මුදලක්. මේ ක්‍රමය බස් රථ හිමියන්ටත් කාර්ය මණ්ඩලයටත් පහසු වගේම වාසි සහගතයි. මේ සදහා තාක්ෂණික දායකත්වය ලබාදුන් SLT Mobitel ආයතනයට ස්තුතිවන්ත වෙනවා.’
මෙම අවස්ථාවට එක්වූ SLT Mobitel සභාපති ආචාර්ය මෝතිලාල් ද සිල්වා මහතා,
අපි SLT Mobitel ආයතනය විදියට සන්නිවේදන සැපයුමෙන් (Telecommunication Provider) ඔබ්බට ගිහින් වෙනත් පාර්ශ්ව සමග සහයෝගයෙන් පොදු ජනතාවට පවතින ගැටළුවලට විසදුම් සෙවීමට සහයවීමට බලාපොරොත්තු වෙනවා. මූල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය වගේම ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් දායකවීමට ලැබීම සතුටක්.’
මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා,
" මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම (Online Sheet Booking) හදුන්වාදීම මගින් ජනතාවට තමන්ගේ ගමන යාමට අවශ්‍ය බස් රථයේ ආසනය නිවසේ සිටම වෙන්කරගෙන නියමිත වේලාවට බස් නැවතුමට එන්න පුළුවන්.
දැනට මෙම ආසන වෙන්කිරීම් කිහිප ආකාරයකට සිද්ධ වෙනවා. අපි ඉදිරියේදී මේ සියල්ලම එක ස්ථානයකින් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබෙනවා. අදාල තොරතුරු ලබාගෙන Centralized Booking System එකක් සැදීම මගින් ජනතාවට වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගැනීමටත්, සේවාව හොදින් ලබාදීමටත් හැකියි.’
මෙහිදී තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වූ SLT Mobitel ආයතනයේ සාමාන්‍යාධිකාරි (ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය) ඉෂාරි සිරිවර්ධන මිය,
"මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම (Online Sheet Booking) ක්‍රම තුනකින් කිරීමේ හැකියාව තියෙනවා. www.busticket.gov.lk වෙබ් අඩවියට ජංගම දුරකථනයකින් හෝ පරිගණකයක් මගින් සම්බන්ධවීමෙන් ද 011-2001266 ක්ෂණික දුරකථනය මගින් සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති KIOSK යන්ත්‍ර මගින් ද මෙම වෙන්කිරීම් කරගන්න පුළුවන්. දැනට VISA සහ Master කාඩ්පත් මගින් ගෙවීම් කළහැකි අතර, ඉදිරියේදී QR මගින් සහ Mobile Vallette මගින්ද ගෙවීම් කිරීමේ හැකියාව ලබාදෙනවා.’
මෙම අවස්ථාවට ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා ද සහභාගි විය.
