ලෝක දේශපාලන තත්ත්වයන් සහ යුදමය වාතාවරණය හමුවේ මෙරට ගොවි ජනතාව තුළ ඇතිව තිබූ පොහොර හිඟවීමේ සහ මිල ඉහළ යෑමේ බිය දුරු කිරීමට රජය වහා මැදිහත් වී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
විශේෂයෙන්ම රජය මැදිහත් නොවන්නට වෙළඳපොළේ පොහොර මිටියක මිල රුපියල් 25,000 දක්වා ඉහළ යාමට ඉඩ තිබූ බවත්, රජයේ ක්‍රියාමාර්ග හේතුවෙන් එය පාලනය කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
දැනට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහොර මිටියක් රුපියල් 9,900ක මිලකට ලබා දෙන බවත්, මීට පෙර පෞද්ගලික අංශය රුපියල් 16,000 සිට 18,000 දක්වා වූ අධික මිල ගණන් වලට පොහොර අලෙවි කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. රජය විසින් ලබාදෙන මෙම සහනය යටතේ එක් පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 5,000කට වැඩි පිරිවැයක් රජය විසින් දරනු ලබන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පොහොර හිඟයක් පිළිබඳ පවතින සැකය බැහැර කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඩී.එස්.පී. (TSP) පොහොර අවශ්‍ය ප්‍රමාණයට වඩා පවතින බවයි. යුරියා පොහොර සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතු වීමට ඉඩ තිබුණ ද, පසුගිය මාසයේදී යුරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නැවක් පැමිණි බවත්, පසුගිය සතියේ තවත් මෙට්‍රික් ටොන් 25,000ක නැවක් පැමිණි බවත් ඔහු හෙළි කළේය. ඒ අනුව යුරියා පොහොර සම්බන්ධයෙන් ද කිසිදු ගැටලුවක් නොමැති බව ඔහු සහතික කළේය.
පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයක පෞද්ගලික වෙළඳසැල්වල පොහොර හිඟයක් පැවතියද, එම තත්ත්වය මේ වන විට නිරාකරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
දැනට සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම මෙන්ම විවෘත වෙළඳපොළේ ද ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය
