ගිනි අවි ලයිෂන් අලුත් කරයි..


2026 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට සමගාමීව, පුද්ගලික ආරක්ෂාව සඳහා ගිනිඅවි බලපත්‍ර ලබාගෙන ඇති සියලුම පුද්ගලයන් තම ගිනිඅවි සහ බලපත්‍ර ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර, සෑම මාස හයකට වරක්ම පරීක්ෂාවට ලක් කරවා ගත යුතු බව ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් නියෝග කර තිබේ.

මෙම ක්‍රියාවලිය මඟින් අදාළ ගිනිඅවිය නිසි පරිදි ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ ද යන්න සහ එහි අනුක්‍රමික අංකය (Serial Number) බලපත්‍රයේ සඳහන් තොරතුරු සමඟ නිවැරදිව ගැලපෙන්නේ ද යන්න තහවුරු කර ගැනීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, ක්‍රියාත්මක වන පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි, පුද්ගලික ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සහ බලපත්‍ර පරීක්ෂා කර, ඊට අදාළ සත්‍යාපන සහතික (Verification Certificates) නිකුත් කරන ලෙසත්, අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් පොලිස්පතිවරයා විසින් ස්ථානාධිපතිවරුන් ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මේ හේතුවෙන්, 2026 වර්ෂය සඳහා තම පුද්ගලික ආරක්ෂක ගිනිඅවි බලපත්‍ර අලුත් කරගත් හෝ අලුතින් ලබාගත් සියලුම බලපත්‍රලාභීන්, බලපත්‍රය ලබාගත් හෝ අලුත් කළ දින සිට මාස හයක් ඇතුළත තම ගිනිඅවිය ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙයි.

පරීක්ෂාවෙන් අනතුරුව, ගිනිඅවිය ක්‍රියාකාරී මට්ටමේ පවතින බවට සහ එහි අනුක්‍රමික අංකය බලපත්‍ර වාර්තා සමඟ ගැළපෙන බව තහවුරු කෙරෙන නිල සහතිකයක් පොලිසිය විසින් නිකුත් කරනු ඇත.


Previous Post Next Post