රථවාහන වැරදි සම්බන්ධයෙන් CCTV දර්ශන පදනම් කරගෙන දඩ මුදල් අය කරන බව පවසමින්, රියදුරන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන නවතම මූල්‍ය වංචාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය වෙත තොරතුරු වාර්තා වී ඇත.
වංචාකරුවන් විසින් විදේශීය දුරකථන අංක භාවිත කරමින් SMS හෝ WhatsApp හරහා ජනතාව වෙත ව්‍යාජ පණිවිඩ එවනු ලබන අතර, එහි දැක්වෙන්නේ අදාළ පරිශීලකයා විසින් සිදුකරන ලද රථවාහන වරදක් CCTV මගින් නිරීක්ෂණය වී ඇති බවයි.
මෙම ව්‍යාජ දඩ මුදල ගෙවීම සඳහා එම පණිවිඩය සමඟ දැනට ලැබී ඇති තොරතුරු අනුව වංචාකරුවන් විසින් https://thecourierguy.eu.cc/lk නැමැති සබැඳියක් (Link) මහජනතාව වෙත ලබා දෙනු ලබයි.
මෙම ව්‍යාජ වෙබ් අඩවිය රජයේ නිල 'Gov Pay' වෙබ් අඩවියට සමාන වන ලෙස ඉතා සූක්ෂ්මව නිර්මාණය කර ඇති අතර, එහි මහජනතාවගේ වාහන අංකය ඇතුළත් කළ පසු ව්‍යාජ ලෙස සකස් කරන ලද රථවාහන වැරදි වාර්තාවක් පවා පෙන්වනු ලබයි.
දඩ මුදල ගෙවීම සඳහා ඉදිරියට යන විට, පරිශීලකයාගේ බැංකු කාඩ්පත් (Credit/Debit Card) තොරතුරු ඇතුළත් කිරීමට සලස්වා, එමගින් බැංකු ගිණුම්වල ඇති මුදල් සොරකම් කිරීම මෙම ජාවාරමේ අවසාන අරමුණ වී ඇත.
එබැවින් ඩිජිටල් අවකාශය තුළ ඔබේ අනන්‍යතාවය සහ මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කරගැනීම සඳහා කිසිම විටක SMS හෝ WhatsApp පණිවිඩ හරහා ලැබෙන සැකකටයුතු සබැඳි (Links) මත ක්ලික් කර ඔබගේ පෞද්ගලික හෝ බැංකු තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙස අමාත්‍යංශය අවධාරණය කර සිටියි.
එමෙන්ම රජයේ ගෙවීම් සඳහා නිතරම රාජ්‍ය නිල වෙබ් අඩවි වලට අදාළ .gov.lk යන අග්‍රය (Domain suffix) සහිත වෙබ් අඩවි පමණක් භාවිතා කිරීමට වගබලා ගත යුතුය. ශ්‍රී ලංකාවේ රථවාහන දඩ මුදල් හෝ නිවේදන කිසිවිටකත් විදේශීය දුරකථන අංක (උදා: +63...) මගින් නොඑවන බැවින් එවැනි පණිවිඩ ලැබුණහොත් ඒවා වහාම ප්‍රතික්ෂේප කළ යුතුය.
තවද, ඔබගේ බැංකු කාඩ්පතේ රහස් අංක (PIN), එක්වරක් පමණක් භාවිත කරන මුරපද (OTP) හෝ කාඩ්පත පිටුපස ඇති CVV අංකය කිසිදු බාහිර පාර්ශවයකට හෝ කිසිදු වෙබ් අඩවියකට ලබානොදීමට වගබලා ගත යුතුය.
රජයේ නිල ආයතන කිසිවිටකත් මෙවැනි රහස්‍ය තොරතුරු දුරකථන ඇමතුම් හෝ පණිවිඩ හරහා ඉල්ලා නොසිටින බව සිහිපත් කරන අතර, ඔබගේ ඩිජිටල් වත්කම් සහ පෞද්ගලික දත්ත ආරක්ෂා කර ගැනීම අප සැමගේම සාමූහික වගකීමක් බැවින් නිරන්තරයෙන් දැනුවත් වෙමින් විමසිලිමත්ව සහ ආරක්ෂිතව සිටින ලෙස අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටියි.
