අලුත් පනත අනුව පච්ච, ඇඳුම්, අභිනයන් නිසා අපරාධකරුවන් විය හැකියි..- ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව


 රජය විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ (Prevention of Organised Crime Bill) මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන්ට ද මුළුමනින්ම පටහැනි බවත්, එය 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා අතිශය මර්දනකාරී වීමේ දැඩි අවදානමක් පවතින බැවින් එම පනත් කෙටුම්පත වහාම හකුලා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය මහතාගේ අත්සනින් යුතුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වෙත යොමු කර ඇති ලිපියක් මගින් මෙම නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, එහි පිටපතක් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත ද යොමු කර ඇත.

සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා නීති සම්පාදනය කිරීමේ වැදගත්කම පිළිගන්නා නමුත්, වත්මන් කෙටුම්පත බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් රැසකට මඟ පාදන බව කොමිසම පෙන්වා දෙයි.

පනත් කෙටුම්පතේ 47 වැනි වගන්තිය මගින් සහකාර පොලිස් අධිකාරී ශ්‍රේණියට නොඅඩු නිලධාරියෙකු හමුවේ ලබාදෙන පාපෝච්ඡාරණ අධිකරණය හමුවේ සාක්කි ලෙස පිළිගැනීමට ප්‍රතිපාදන සලසා ඇති බව පෙන්වා දෙන මානව හිමිකම් කොමිසම, මෙය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 16 වැනි වගන්තිය නැවත බලාත්මක කිරීමක් බඳු බව පවසයි. සැකකරුවන් දීර්ඝ කාලයක් පොලිස් භාරයේ රඳවා තබා ගැනීම සමඟ මෙලෙස පාපෝච්ඡාරණ පිළිගැනීමට ඉඩදීම හරහා, පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන්ට වධහිංසා පැමිණවීම සහ අමානුෂික ලෙස සැලකීම දැඩි ලෙස දිරිගැන්වෙන බව කොමිසම අවධාරණය කරයි.

කෙටුම්පතේ 21 වැනි වගන්තියට අනුව, පොලිස්පතිවරයාට හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතින් රඳවා ගැනීමේ නියෝග ලබාගත හැකි අතර, සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා මූලිකව මාස දෙකක් ද, පසුව මහාධිකරණ නියෝග මත සෑම මාස දෙකකට වරක් දීර්ඝ කරමින් සමස්තයක් ලෙස වසරක කාලයක් පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට හැකියාව ලැබේ. විධායක නිලධාරියෙකු වන අමාත්‍යාංශ ලේකම්වරයෙකුට මෙවැනි බලතල පැවරීම බලවත් ගැටලුවකි.

පනතේ 3 වැනි වගන්තිය යටතේ ‘බරපතළ අපරාධ’ යන්න අර්ථ දක්වා ඇති ආකාරය අතිශය පුළුල් හා භයානක බව කොමිසම අනතුරු අඟවයි. වසර 4ක හෝ ඊට වැඩි සිරදඬුවම් ලැබිය හැකි වැරදිවලට අමතරව, රේගු ආඥාපනතේ දඩ හෝ රාජසන්තක කිරීම්, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ බලපත්‍ර රහිතව ජීවීන් ආනයනය, වන සංරක්ෂණ ආඥාපනත යටතේ වැරදි, බුද්ධිමය දේපළ පනත සහ රාජකාරියට බාධා කිරීම් වැනි සංවිධානාත්මක අපරාධ නොවන සාමාන්‍ය වැරදි පවා මෙම ‘බරපතළ අපරාධ’ ලැයිස්තුවට ඇතුළත් කර ඇත. 

විශේෂයෙන්ම, ඕනෑම වරදක් සම්බන්ධයෙන් පොලිසිය කරන පරීක්ෂණයකට ‘බාධා කළේ යැයි’ පවසමින් ඕනෑම පුරවැසියෙකුට එරෙහිව රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට පොලිසියට අසීමිත බලයක් මෙමගින් හිමිවන බව කොමිසම පෙන්වා දෙයි.

කෙටුම්පතේ 4(2) වගන්තිය මගින් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු ද යන්න තීරණය කිරීමට ලබාදී ඇති නිර්ණායක අසාමාන්‍ය ලෙස පුළුල් බවත්; අපරාධකරුවෙකු යැයි සැලකෙන අයෙකු ඇසුරු කිරීම, ඔවුන් අඳින ආකාරයේ ඇඳුම් ඇඳීම, යම් භාෂා විලාසයක් භාවිත කිරීම, සංකේත හෝ පච්ච (Tattoos) කොටා තිබීම හෝ අත් සංඥා භාවිත කිරීම පවා සංවිධානාත්මක කල්ලි සාමාජිකයෙකු ලෙස අර්ථ නිරූපණය කිරීමට ඉඩ සලසා ඇති බැවින්, නිර්දෝෂී සාමාන්‍ය ජනතාව පවා අසාධාරණ ලෙස දැලේ පැටලීමේ අවදානමක් පවතින බව කොමිසම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(2) ව්‍යවස්ථාව ප්‍රකාරව, අධිකරණ නියෝගයකින් තොරව කිසිදු පුරවැසියෙකු රඳවා තබා ගැනීමට නොහැකි වුව ද, මෙම පනත මගින් මහේස්ත්‍රාත්වරයෙකු සතු සාමාන්‍ය අධිකරණමය අභිමතය මුළුමනින්ම අහිමි කර ඇති බව කොමිසම සඳහන් කරයි. 

20 වැනි වගන්තිය අනුව අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කරන රඳවා ගැනීමේ නියෝගය ක්‍රියාත්මක කිරීමට හෝ සැකකරු රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත්වරයා නීතියෙන්ම බැඳී සිටින අතර, අදාළ නියෝගයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බව පෙනී ගිය ද එය ඉවත දැමීමට මහේස්ත්‍රාත්වරයාට කිසිදු බලයක් නොමැත.

මෙම සමස්ත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත වහාම හකුලා ගත යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි එය සම්පූර්ණයෙන්ම සංශෝධනය කළ යුතු බවත් මානව හිමිකම් කොමිෂන් සභාව රජයට අවධාරණය කර සිටියි.





Concerns Over Organised Crime Bill: Human Rights Commission Urges Immediate Repeal

The recently announced Prevention of Organised Crime Bill has raised significant alarms with the Sri Lankan Human Rights Commission, which asserts that the legislation poses a direct threat to fundamental rights protected under the country's Constitution as well as international human rights standards. The Commission pointed out that the new bill could potentially be more oppressive than the existing Prevention of Terrorism Act of 1979.

This warning was conveyed in a letter signed by the Commission’s Chairperson, retired Supreme Court Judge LTB Dehideniya, addressed to Minister of Justice and National Integration, Ali Sabry, with copies sent to the President and the Minister of Defence, Anura Kumara Dissanayake.

While acknowledging the necessity of enacting laws to combat organised crime, the Commission emphasized that the current draft leads to numerous serious human rights violations.

Notably, under Section 47 of the bill, it provides provisions for statements taken before a police officer of no lesser rank than an Assistant Superintendent to be accepted as evidence in court, echoing corresponding provisions in the Prevention of Terrorism Act. The Commission raised concerns that this could facilitate the use of coercive methods against suspects held for prolonged periods in police custody, encouraging torture and inhumane treatment during pre-trial detention.

Furthermore, Section 21 allows police to obtain orders for detention from the Secretary of the Ministry of Public Security, permitting a suspect to be questioned for an initial two-month period, extendable by court order for a total of one year. The transfer of such powers to a bureaucratic official raises grave issues about accountability and oversight.

The bill’s definition of “serious crimes” under Section 3 is alarmingly broad, potentially encompassing ordinary criminal offenses that can attract more than four years of imprisonment, including violations of fiscal regulations, wildlife conservation laws, and intellectual property. This raises the troubling prospect of ordinary citizens being unjustly ensnared as members of organised crime syndicates.

Moreover, the legislation purportedly grants police unlimited authority to devise detention orders against any citizen under the pretext of 'obstructing' an investigation.

Section 4(2) further complicates the situation by establishing overly broad criteria for identifying an individual as a member of an organised crime group based on their attire, mannerisms, or tattoos, which poses a risk of wrongful arrests targeting innocent individuals.

The Commission also highlighted that the Constitution, under Article 13(2), prohibits detention without judicial oversight, yet this bill effectively strips magistrates of critical judicial discretion regarding detention matters.

Given these grave concerns, the Human Rights Commission has categorically urged the government to halt the passage of the Prevention of Organised Crime Bill immediately and called for its comprehensive revision to align with constitutional protections and international human rights standards.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ගෝල්ෆේස් එකේ අරගල පකයොන්ට දැන් සනීප ඇති

    ReplyDelete
    Replies
    1. ඔය අරගලේට ගියපු එවුන් ඔක්කොම මොළේ කළඳක්වත් නැති එව්න්. ඕකුන් දැනුත් සතුටින් ඉන්නෙ ඔය පනත් වලින් හිරේ දාන්න පුළුවන් බයියො විතරයි කියල හිතාගෙන​. ඔන්න බලපන් ඔය පනතට විරුද්ධව කවුරු හරි උද්ඝෝෂණය කරොත් පනතට සහයෝගය දෙනව කියල ඕකුන් පාරට බහින්නෙ නැද්ද කියල​

      Delete
  2. මේකේ නරකම දේ පසුගිය කාලයේ දුටුවා පොලිස් නිලධාරින් නීතියට පිටින් ගොස් එය අවභාවිතාවක් කරමින් තමන්ගේ ඔලුවට ආපු නීති හදාගෙන මහජනතාවට පීඩා කරන ආකාර ඕන තරම්.මේ පනතත් එක්ක ඔලුව ඉදිමුනු නිලධාරීන්ට ඕන විදිහට නටන්න පුළුවන්.මෙතන තියෙන තවත් අවදානම තමයි පල්ලෙහා ශ්‍රේණිවල නිලධාරීන්ගේ සමාජ ආර්ථික වගේම ආර්ථික වටපිටාවේ තියෙන අඩුපාඩුකම්.ඔවුන් හැසිරෙන්නේ හරියට දරිද්‍රතාවෙන් පෙළිච්ච ආර්ථික දුෂ්කරතාවලින් පෙලිච්ච අය විශ්ව විද්‍යාලයට ඇවිත් අවුරුද්දක් පරණ වෙච්ච ගමන් අලුත් කණ්ඩායම්වල කට්ටියට අමානුෂික නවක වදය දෙන කණ්ඩායම වගේ.

    ReplyDelete
Previous Post Next Post