ඝාතනය වූ සභාපති පාතාල නායකයෙක්.. අපරාධකරුවෙක්.. ජාතික ආරක්‍ෂාවට කිසි අවුලක් නෑ..- ඇමති විජේපාල

 ඝාතනයට ලක් වූ මාතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික‍්‍රමසේකර නොහොත් වැලිගම ලසා, මහජන නියෝජිතයෙක් බවට පත් වුවද, ඔහු පාතාල අපරාධකරුවෙක් බව මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.


ඇමතිවරයාට අනුව, වැලිගම ලසාට නඩු හයක් තිබී ඇත. ඒ අතරින් නඩු දෙකක් මාතර මහධිකරණයේද, නඩු දෙකක් කුරුණෑගල මහධිකරණයේද, තවත් නඩුවක් ගාල්ලේ ද තිබී ඇත. ඔහුට සිර දඬුවම් නියම වී ඇති අතර, ඔහු සිටියේ ඇප මතයි.

විශේෂයෙන්ම, ඔහු පාතාල ක්‍රියාවන්ට සම්බන්ධ බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගැනීම පිළිබඳව ද අධිකරණ නඩුවක් ඔහුට තිබී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය. විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර ඇති ඔහු, මෑතකදී ජූනි 27 වන දිනද උසාවියට ගොස් ඇත.

මෑතකදී ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකු කළ ප්‍රකාශ හරහා, මියගිය සභාපතිවරයා සතුව යම් යම් අවි ආයුධ තිබූ බව අනාවරණය වී ඇත. විමර්ශන කටයුතු දිගටම පැවැත්විමින් තිබේ.

පසුගිය කාලය පුරාවටම පාතාල අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අතර ආරවුල් ඇතිවීම තිබූ බවත්, මෙම ඝාතනය ද එවැනි ආරවුලක් බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. සංවිධානාත්මක අපරාධකරුවන් කල්ලි ලෙස බෙදී සිටින බවත්, ඔවුන් සතුව ආයුධ සන්නද්ධව ඇති බවත්, ඔවුන් අතර ගැටුම් සිද්ධ වන බවත්, එම ආරවුල් අවසානයේ මිනිස් ඝාතන බවට පරිවර්තනය වන බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදුවූ වෙඩි තැබීම හරහා මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් සිද්ධ වී නැති බව ඇමතිවරයා අවධාරණය කළේය.

රජය කිසිසේත්ම මෙම ඝාතනය අනුමත නොකරන බවත්, මිනිස් ජීවිතවල වටිනාකම අගයන ආණ්ඩුවක් ලෙස, ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිද්ධ කරන බවත් මහජන ආරක්‍ෂක ඇමතිවරයා පැවසීය.

කිසියම් දේශපාලන පක්ෂයක කටයුතු කරමින් මහජන නියෝජිතයෙකු ලෙස පත් වුවද, ඔහු ඝාතනය වන විට පාතාල ක්‍රියාකාරී ගණයට මිස මහජන නියෝජිතයෙකුගේ කාණ්ඩයට නොවැටෙන බව ඇමතිවරයා අවධාරණය කළේය.

පොලිසිය සතුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව, ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලිවල නායකයෙක් ලෙස කටයුතු කළ බවට ඕනෑ තරම් තොරතුරු ඇති බවත්, අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් පෙන්වා දුන්නේය.

Previous Post Next Post