රටේ පවතින අල සහ ලූණු ප්‍රශ්නය විසඳීම සඳහා පියවර ගෙන ඇති බවත්, ආනයනය කරන බී ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40ක අමතර බද්දක් පැනවීමෙන් මුළු බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දමා ඇති බවත් කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
මෙය පාරිභෝගයට ප්‍රශ්නයක් වුවද, ගොවියාට යම් මිලක් ලබා දීම අරමුණු කරන බව ඇමතිවරයා පැවසීය.
සතොසට මැදිහත් වී මිලදී ගැනීම් සිදු කරන ලෙස උපදෙස් දී ඇති අතර, මේ වන විට ස්ථාන හයක මිලදී ගැනීම් සිදු වුවද, ගැටලුව සම්පූර්ණයෙන් විසඳී නොමැති බව ඔහු පිළිගත්තේය.
මිලදී ගැනීමේදී ප්‍රමිතියක් අවශ්‍ය බවත්, කුණු වීමට ඉඩ දිය නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.
ප්‍රමිතිය අනුව බී ලූණු ගෙඩි අටක් කිලෝවකට තිබිය යුතු වුවත්, එතරම් විශාල ලූණු ගෙඩියක් නිපදවීමට රජයෙන් අවශ්‍ය සහයෝගය නොලැබුණු බවට ගොවීන් ප්‍රශ්න කරන බවද ඇතැම් ගොවීන් අස්වැන්න නෙළීමට පෙර යුරියා යොදා ජලය ගසා ගෙඩිය පිම්බීම නිසා ඒවා කල් තබා ගැනීමට නොහැකිව කුණු වන බවද හෙතෙම අනාවරණය කළේය.
රට තුළ සීතාගාර හෝ ගබඩා පහසුකම් නොමැති බවත්, දඹුල්ලේ විවෘත කළ මධ්‍යස්ථානයකට මේ අයවැයෙන් මුදල් වෙන් කළ යුතු බවත් ඇමතිවරයා අවධාරණය කළේය. වී ගොවියා මුදාගෙන තිබුණද, ලූණු ගොවියා සහ අල ගොවියා තවමත් බේරී නොමැති බව ඔහු පිළිගත්තේය.
වගා කළ ප්‍රමාණය සහ අස්වැන්න පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් රට තුළ නොමැති වීම බදු තීරණය කිරීමට සහ ආනයන ප්‍රමාණය තීරණය කිරීමට බාධාවක් බවට ඔහු චෝදනා කළේය.
රටක් කොපමණ පරිහාණියට ගොස් ඇත්දැයි පෙන්වා දෙමින් කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශ කළේ ‘අපි නිකන් නෙමෙයි කියන්නේ මේ අවුරුදු 76 අවුරුදු ශාපයක් කියලා’ බවත් මෙය හුදෙක් දේශපාලන විවේචනයක් කිරීමේ අවශ්‍යතාවයට කියන දෙයක්ම නොවන බවත් ඔහු තව දුරටත් පැවසීය.
