පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
නොවැම්බර් 21 දා නුගේගොඩ පැවැත්වෙන රැස්වීමට විපක්ෂයේ සමහර පක්ෂ ප්‍රතිපත්තිමය හේතුන් මත සහභාගි වෙන්නේ නෑ කියලා තිබුණා. නමුත් එක පක්ෂයක් හැර අනිත් සෑම පක්ෂයක්ම අපට සුබ පතලා තිබුණා. මේ රැස්වීමට සහභාගි නොවීම තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒක විවේචනය කරන්නේ ආණ්ඩුවයි විපක්ෂයේ තිබෙන එකම එක පක්ෂයකුයි විතරයි නම් ඒ පක්ෂයත් ආණ්ඩුවත් අතර ඩීල් එකක් තිබෙන බව පැහැදිලියි. ආණ්ඩු විරෝධි රැස්වීමකට ආණ්ඩුව බය වීම තේරුම් ගන්න පුළුවන්. ඒත් විපක්ෂයේ පක්ෂයක් බය වෙලා තිබෙන්නේ ඇයි?
විපක්ෂයේ පක්ෂ කිහිපයක්ම මේ රැස්වීමට සහභාගි වෙන්නේ නැත්තේ ප්‍රතිපත්තිමය එකඟතාවයක් නැති නිසා යැයි කියා තිබුණා. ඒක වැරදි අවබෝධයක්. ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇති කර ගන්න මේක ආණ්ඩුවක් හදන සංධානයක් නොවේ. මේක ආණ්ඩු විරෝධි රැළියක් විතරමයි. දුන් පොරොන්දු ඉටු කරනු කියලා ආණ්ඩුවට බල කරන්න ප්‍රතිපත්තිමය එකඟතා ඕනෑ ද? රට පාලනය කරන්නේ පට්ට හොරු රැලක් කියලා පෙන්වා දෙන්න ප්‍රතිපත්තිමය එකඟතා ඕනෑ ද? මහජන නියෝජිතයින් මරා දාන මැතිවරණ අපේක්ෂකයින් මරා දාන වෘත්තීය සමිති නායකයින්ට පහර දෙන විපක්ෂයේ පක්ෂ කාර්යාල පොලිසියේ සහයෝගයෙන් බලහත්කාරයෙන් අත්පත් කර ගන්න වෙඩි තබා මිනිසුන් මරණ භීෂණයක් වපුරන ආණ්ඩුවට විරෝධය පල කරන්න ප්‍රතිපත්තිමය එකඟතා ඕනෑ ද?
බොහෝ දෙනෙක් සම්ප්‍රදායික විධියටයි ආණ්ඩුව ගැන හිතන්නේ. මේ තිබෙන්නේ සම්ප්‍රදායික ආණ්ඩුවක් නොවේ. ත්‍රස්තවාදින්ගේ ආණ්ඩුවක්. 1971, 1987 සහ 2022 දී ප්‍රචණ්ඩත්වයෙන් බලය ගන්න ගිහින් බැරි වෙලා ඉන්න අතරේ තමයි නොසිතූ වෙලාවක නොසිතූ විධියට තමන්ගේ ඔඩොක්කුවට බලය කඩා පාත් වුණේ. මේ අය ප්‍රජාතන්ත්‍රවාදීව බලය ආපසු භාර දෙන්නේ නැහැ. අපි බලය ලබා ගත්තේ නැවත දෙන්න නොවේ කියලා ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමා ජනවාරි 26 කිව්වා. මේ ආණ්ඩුව බලය ගත්තේ යන්න බලාගෙන නොවේ කියලා ජනාධිපතිතුමා කිව්වා. නගරාධිපතිතුමෙක් කියනවානෙ බලය රැක ගැනීම වෙනුවෙන් ලක්ෂයක් වුණත් මරන්න ලැහැස්තියි කියලා. ඒ භීෂණයට එරෙහිවයි විපක්ෂය සමගි වෙන්න ඕනි.
අද අපේ රටේ මතුවන භීෂණයම තමයි 1940 දශකයේ දී ජර්මනියේ හිට්ලර් ඇති කලේත්. ජනපති අනුර සහ ඇඩොලොෆ් හිට්ලර් අතර සමානතා හතක් තිබෙනවා. එදා හිට්ලර් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කලාම ජීවත්වීමේ අයිතිය උදුරා ගත්තාම ලෝක බලවතුන් තමන්ගේ මතවාදි වෙනස්කම් ඓතිහාසික කෝන්තර සියල්ලම පැත්තකින් තියලා හිට්ලර්ට එරෙහිව සමගි වුණා. ධනවාදි ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වේල්ට්, සමාජවාදි සෝවියට් දේශයේ ජනාධිපති ජෝසෆ් ස්ටාලින්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් රාජධානියේ අගමැති වින්ස්ටන් චර්චිල් මිත්‍ර සංධානයක් ගොඩ නැගුවා. එතැන තිබුණේ එකම එක අරමුණයි. ඒ හිට්ලර්ගේ ෆැසිස්ට්වාදය පරාජය කිරීමයි. ඇමෙරිකාව ධනවාදය අත් හරින තුරු තමන් එන්නේ නෑ කියලා ස්ටාලින් කිව්වෙත් නෑ. සමාජවාදින් ඉන්නවා නම් බෑ කියලා රූස්වේල්ට් කිව්වෙත් නෑ. චර්චිල්ට ජනවරමක් නෑ කියලා වෙන කවුරුවත් කිව්වෙත් නෑ. එදා ෆැසිස්ට්වාදය පරාජය කරන්න කොන්දේසියක් විධියට සමාජවාදය අත් හරින්න කියලා ඇමෙරිකාව සෝවියට් දේශයට කොන්දේසි දැම්මා නම් ඒ දෙගොල්ලන් වාද කරන අතරේ හිට්ලර් මුළු ලෝකයම අල්ලා ගන්නවා.
ඒ නිසා ලෝක නායකයෝ භීෂණය ඉදිරියේ අපිට දුන්නු ආදර්ශය අනුව යමින් ප්‍රතිපත්තිමය වෙනස්කම් පරණ කෝන්තර පෞද්ගලික අමනාපකම් සියල්ලම පැත්තක තියලා ෆැසිස්ට්වාදය පරාජය කරන්න සමගි වෙමු. සමගිව වැඩ කරන විට ප්‍රතිපත්තිමය එකඟතා හදා ගන්න පුළුවන් අයට බලය ගැනීම ඉලක්ක කරගෙන නැවුම් සංධානයක් ගොඩ නගා ගන්න පුළුවන්. අනිත් අයට හිට්ලර්ගේ පරාජයෙන් පස්සේ සීතල යුද්ධය යළි ඇරඹුවා වගේ වෙනම වැඩ කරන්නත් පුළුවන්. මේ වෙලාවේ ප්‍රතිපත්ති ප්‍රශ්න මතු කිරීමෙන් වෙන්නේ භීෂණයට එරෙහි සංධානයක් ගොඩ නැගීම කඩාකප්පල් වෙන එක විතරයි.

නඩුවලින් බේරෙන්න එකතු වෙන හොරු රැලක් මිසක් හරි මිනිස්සු ඕකට ලොවෙත් එකතුවෙන්නේ නෑ ඒ අය වෙනම චන්දෙ ඉල්ලයි ඒක හරි
ReplyDeleteනෑ, පොලිසියවත් නීතිපති දෙපාර්තමේන්තුවවත් විපක්ෂ සන්ධානෙට නෑ. මේ රැළියෙයි නඩු දාන වැඩෙයි කිසි සම්බන්ධයක් නෑ.
Delete