'මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යුක්තිය මෙහෙයුම වගේ එකක් නම් නෙමෙයි. මත්ද්‍රව්‍ය උවදුර නිසා රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුව තිබෙනවා. පසුගිය කාලය තුළ මත් ද්‍රව්‍ය තුරන් කරන්න බැරි වුණේ පැවති දේශපාලන බලපෑමයි' යයි අමාත්‍ය, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, මොරටුව ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති නීතිඥ, හර්ෂණ නානායකකාර මහතා මෙම අදහස් පළ කළේ වත්මන් රජයේ රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ යටතේ මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ මත් උවදුර තුරන් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කර තිබු මොරටුව මහජන ආරක්ෂක කමිටු රැස්වීමට මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි.
එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
රජයේ සේවකයින් හිතන්න පුළුවන් මේ වගේ සංදර්ශන හැම ආණ්ඩුවක්ම ආරම්භ කළා වගේම මාස කිහිපයක් යනකොට නතර වුණා වගේ මේකත් එහෙම තමයි කියලා. මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අපේ රජයේ වැඩපිළිවෙළ යුක්තිය මෙහෙයුම වගේ වැඩක් නම් නෙමෙයි. මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටින කන් හැන්දෙන් කුඩු බොන අයටත් මත් ජාවාරම සිදු කරන කුඩු කිලෝ ගණන් ගෙන එන අයටත් එකම ආකාරයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වු වින්දිතයින් නිවාරණයට සහ ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීම සිදු කළ යුතුයි. මේවාට ඇති ඉල්ලුම නතර කළ යුතුයි. රජය ආරක්ෂක අංශ සමඟ එක්ව මේ උවදුර තුරන් කිරීමට කටයුතු කරනවා . එම කටයුතු සාර්ථකව සිදු කිරීමට නම් ජනතා සහාය අත්‍යවශ්‍යයි. මත් ජාවාරම්කරුවන්ට ඇති බිය නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට ජනතාව ඉදිරිපත් වන්නේ නැහැ. ආගමික නායකයින්ගේ සහ මහජනතාවගේ සහාය මේ වෙනුවෙන් අවශ්‍යයම බව අපි සියලු දෙනා තේරුම් ගත යුතුයි.
මතට ඇබ්බැහිව සිටින අයට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය විය හැකි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට මේ වන විටත් රජය කටයුතු කර තිබෙනවා. මත්ද්‍රව්‍යට ඇබ්බැහිව සිටින වින්දිතයින් සහ ජාවාරම්කරුවන් යන මේ කොටස් දෙක කෙරෙහි සමාජය බලන්නේ එකම ආකාරයටයි. මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටින තැනැත්තන් වින්දිතයින් ලෙස සලකමින් ඔවුන් සුවපත් කිරීමට ඔවුන්ගේ මනස සකස් කිරීමට ආගමික නායකයින් සහ පුනරුත්ථාපන ක්‍රියාවලින් හරහා සිදු කළ යුතුයි. විශේෂයෙන් දරුවන් මේ සදහා යොමුවීම වැළැක්වීම වෙනුවෙන් දෙමාපියන්ට විශාල වගකීමක් තිබෙනවා. දරුවන්ගේ ක්‍රියාකලාපය කටයුතු සම්බන්ධව දෙමාපියන් අවධානයෙන් සිටිය යුතුයි. මතින් තොර සමාජයක් ගොඩ නැංවීමේදී නිවාරණය අතිශයින් වැදගත් බව අපි අවබෝධ කර ගත යුතුයි. මේ වැඩපිළිවෙළ පසුගිය කාලවල සිදු වුණා වගේ සංදර්ශනයක් නම් නොවෙයි.
මේ මත්ද්‍රව්‍ය උවදුර නිසා රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුව තිබෙනවා. විශේෂයෙන් මොරටුව මැතිවරණ කොට්ඨාශය මේ උවදුරින් වැඩ වශයෙන් පීඩා විඳන ප්‍රදේශයක් වන බැවින් ඒ වෙනුවෙන් සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. පසුගිය කාලය තුළ මත් ද්‍රව්‍ය තුරන් කරන්න බැරි වුණේ පැවති දේශපාලන බලපෑමයි. පොලිසිය තුළත් මේ සදහා සම්බන්ධ සිටි නිලධාරීන් ඉවත් කිරීමට පොලිස්පතිතුමා කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් පොලීසිය සම්බන්ධයෙන් මහජන විශ්වාසය ඇති විය යුතුයි. පසුගිය කාලය තුළ එම විශ්වාසය නැතිවුණා. මොරටුවේ මත්ද්‍රව්‍ය ජාවාරම මේ ඉදිරි වසර හතර තුළ තුරන් කර මිස මේ වැඩපිළිවෙළ නතර කරන්නේ නැහැ. පොලිසිය සම්බන්ධව විනාශ වී තිබු විශ්වාසය යලි ඇති කළ යුතුමයි. මත් ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ මත් ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා පොලීසිය මහජන ආරක්ෂක කමිටු සහ මහජනතාව එක්ව කටයුතු කළ යුතු ආකාරය, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටින පුද්ගලයින් වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ඇතුළු කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡා විය. මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන්ට සහ මහජනතාවට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබුණි. මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරන ලද වැටලීම් පිළිබඳව මෙහිදී අදහස් පළ කරන ලදී.
සර්ව ආගමික නායකයින්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, මොරටුව නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රිවරුන්, මොරටුව ප්‍රාදේශිය ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන්, , මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන් රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්‍ය ඒ්කකය
