පොලිස් වාර්තා ලබා ගැනීමේදී ප්‍රජා පොලිස් කමිටු සභාපතිවරුන්ගේ චරිත සහතික අනිවාර්ය කිරීමේ නව ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම, මෙම ක්‍රියාමාර්ගය රට වස්ථාපිත ඒකාධිපතිත්වයකට හෝ පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කිරීමට මුල පිරීමක්දැයි ඔහු රජයෙන් දැඩි ලෙස ප්‍රශ්න කළේය.
විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, මෙම ක්‍රියාවලිය පොලිස් ඇමතිවරයා විසින් මීට පෙර පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකට පටහැනි බවයි.
ඔහුට අනුව, පොලිස් ඇමතිවරයා ඊයේ දිනයේ ප්‍රජා පොලිස් කමිටුවල සභාපතිවරුන්ගේ නිර්දේශ, චරිත සහතික ලබාගැනීමට අවශ්‍ය නැහැයි කියා තිබුණද, දැන් පොලිස් ස්ථාන මගින් එවැනි සහතික ඉල්ලා සිටින බවට සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන්නේ යැයි ඔහු පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය චෝදනා සනාථ කිරීම සඳහා පොලිස් ස්ථාන සහිතව, ග්‍රාම නිලධාරී වසම් සහිතව උදාහරණ දෙකක් ඉදිරිපත් කළේය.
මාතර කිරිඳ පුහුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කංකානම් පතිරණගේ අනුරාධ මධුසංක මහතා, පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගැනීම සඳහා හක්මන පොලිස් ස්ථානයෙන් පොලිස් සහතිකයක් ඉල්ලා සිටි විට එහිදී ඔහුට උපදෙස් දී ඇත්තේ ග්‍රාම නිලධාරී වාර්තාවට අමතරව, ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරයා වන පී. රාම වික්‍රමගේ චරිත සහතිකයද අවශ්‍ය බවයි.
විපක්ෂ නායකවරයා පැවසුවේ, එම සහතිකය ලබා දුන් පසුව අනුරාධ මධුසංක මහතාට පොලිස් වාර්තාව ලබා දී ඇති බවය.
කඹුරු පිටිය පොලීසියේ ලේනපටුව ග්‍රාම නිලධාරී වසමේ ඩී. ජී. දිනේත් නමැති පුද්ගලයෙකු පොලිස් වාර්තාවක් ඉල්ලුම් කළ අවස්ථාවේදී, ප්‍රජා පොලිස් කමිටුවේ සභාපති වන සම්පත් වික්‍රමසිංහ මහතාගේ චරිත සහතිකය ඉල්ලා ඇත.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ, සම්පත් වික්‍රමසිංහ මහතා එම ගමේ එන්. පී. පී. (NPP) සභාපතිවරයා බවයි.
කෙසේ වෙතත්, අවශ්‍ය සහතිකය ඉදිරිපත් කර තිබුණද, මේ වන තුරු දිනේත් මහතාට පොලිස් සහතිකය ලබා දී නැති බවද ඔහු අනාවරණය කළේය.
මෙම ප්‍රජා පොලිස් කමිටු සහතික ඉල්ලා සිටීමේ ක්‍රමවේදය හරහා ආණ්ඩුව වස්ථාපිත ඒකාධිපතිත්වයකට මුල පුරන්නේදැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මරණාධාර සමිතියේ, ගොවි සමිතියේ, දීවර සමිතියේ, කාන්තා සමිතියේ, ප්‍රජා සංවර්ධන සමිතියේ ඇතුළු සියලුම තනතුරු එක පක්ෂයකට සම්බන්ධ කරගෙන යමින් ඒකාධිපත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවට සැක කරන බවයි.
විපක්ෂ නායකවරයා අවසාන වශයෙන් රජයෙන් ඉල්ලා සිටියේ, වැරදි පෙන්නා දෙන විට එය නරක ලෙස නොසලකා, හොඳ හෝ වැරදි දෙකම හොඳින් බාරගන්නා ලෙසයි.
