මැර පිරිසක් කොල්ලුපිටියේ සමාජ ශාලාවක් කුඩු පට්ටම් කර ගිනි තියති...

 


කොල්ලුපිටිය ප්‍රදේශයේ, ආර්.ඒ. ද මෙල් මාවතේ පිහිටි තට්ටු ගොඩනැගිල්ලක දෙවන මහලේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් පසුගිය (7) අලුයම මැර කණ්ඩායමක ප්‍රහාරයකට ලක්ව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

වාර්තා වන පරිදි, වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම සමාජ ශාලාවට කඩා වැදී පහර දී ගිනි තබා තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් සමාජ ශාලාවේ සේවය කළ සංගීත ශිල්පියෙකු (ඩී.ජේ.) සහ ආරක්ෂක නිලධාරියෙකු බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇත. ඔවුන් දෙදෙනා වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ගින්න හටගැනීමත් සමඟ, එම ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කළ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිත අවදානම හේතුවෙන් බිමට පැන ඇත. මෙහිදී තුවාල ලැබූ ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මේ වන විට ප්‍රතිකාර ලබති.

සිද්ධිය වන අවස්ථාවේදී රාත්‍රී සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු තරුණියන් දෙදෙනෙකු සමග පුද්ගලයන් සය දෙනෙකු සිට ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එමෙන්ම, සිව්වන මහලේ ලැගුම්ගෙන සිටි රාත්‍රී සමාජ ශාලාවේ තවත් ආරක්ෂක නිලධාරියෙකු සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහුගේ පුත්‍රයා ද කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ භටයන් විසින් කිසිදු අනතුරක් නොමැතිව මුදාගෙන තිබේ. ගිනි නිවන රථ හතරක් යොදා ගනිමින් පැමිණි ගිනි නිවන භට පිරිස් දැඩි වෙහෙසක් දරා ගින්න තවත් මහල්වලට පැතිරීම වළක්වා ගැනීමට සමත් වී ඇතත්, රාත්‍රී සමාජ ශාලාව සම්පූර්ණයෙන් දැවී ගොස් ඇත.

පලා ගිය මෙම මැර කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය මේ වන විට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

Previous Post Next Post