සිසුන්ට ලිංගික අධ්‍යාපනය දෙන්නේ සෞඛ්‍ය අංශ හා විශේෂඥයන්ගේ උපදෙස් අනුවයි..


අමිත් මදුරංග ගමගේ 

හයවන ශ්‍රේණියේ සිසුන්ට ශරීරය පිළිබඳ මූලික දැනුම ලබා දීමට මොඩියුලයක් හඳුන්වා දී ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

තම ශරීරය සෞඛ්‍යවත්ව පවත්වාගෙන යෑමට උපදෙස් ලබා දෙමින් හයවන ශ්‍රේණියේ සිසුන්ගේ වයසට සුදුසු පරිදි එම පොත සකස් කර ඇතැයි ද අගමැතිනිය කීවාය.

පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ විශේෂඥ වෛද්‍යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙන බව කී ඇමතිවරිය ඒ අනුව සුදුසුකම් ලත් කණ්ඩායමක් එක්ව මොඩියුලය නිර්මාණය කළ බව සඳහන් කළා ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් මහජන නියෝජිතයන් දැනුවත් කිරීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළාය.

රටේ ලිංගික අපචාරවලට සහ පීඩනයට දරුවන් ලක්වීමේ ප්‍රවණතාව වර්ධනය වන බව කී අගමැතිනිය මෙම ගැටලුවෙන් ආරක්ෂා වීමට දරුවන්ට ලිංගික අධ්‍යාපනය ඉගැන්විය යුතු යැයි සෞඛ්‍ය අංශ හා විශේෂඥයන් උපදෙස් ලබාදුන් බව පැවසුවාය.

ළමයින් ලිංගික හිංසනයන්ට මුහුණ දීම බරපතළ ප්‍රශ්නයක් බවටත් දරුවන්ට තම ශරීරය ආරක්ෂා කරගන්නා ආකාරය දැනුවත් කරන ලෙසටත් ළමාරක්ෂක අධිකාරිය පෙන්වාදී ඇතැයිද අගමැතිනිය සඳහන් කළා ය.

මෙම කරුණ සම්බන්ධයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කරගෙන යන බව ත් එම අමාත්‍යාංශය යම් යම් නිර්දේශ ලබාදෙමින් තිබෙන බව ත් ඇය කීවාය.

ලිංගික අධ්‍යාපන ලබා දිය යුත්තේ කෙසේ ද? කවදා ද? මොන වයසට ද? යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද අගමැතිනිය ප්‍රකාශ කළා ය.

දරුවන් වයසට සුදුසු පරිදි ආරක්ෂා වියයුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ත් ශරීරය වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීමට සියලු ළමයින්ට අධ්‍යාපනයක් ලබාදිය යුතු බව ත් අගමැතිවරිය පැවසුවා ය.

විශේෂඥ උපදෙස් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපදෙස් අනුව රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ත් ඒ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව කරුණු නොදැන චෝදනා කරන බව ත් ඇය සඳහන් කළා ය.

Mawbima

Previous Post Next Post