සැකකරුවන්ගේ පින්තූර ගැන චක‍්‍රලේඛ කලිනුත් ගැහුවා..


 පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පොලිස් මූලස්ථානයෙන් නිකුත් කරන ලද දැනුවත් කිරීමකට අදාල මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩීයෝපටයකට අදාලව කරුණු පැහැදිලි කිරීම.

ශ්‍රී ලංකා පොලිසියේ සමස්ත නිලධාරීන් දැනුවත් කරමින් විමර්ශන තොරතුරු සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිලිබඳව දැනුවත් කරමින් පොලිස්පතිතුමා විසින් නිකුත් කරන ලද පණිවිඩයක් ගෙනහැර දක්වා මේ වන විට එම පණිවිඩය පිලිබඳව යම් යම් වැරදි අදහස් පලකිරීම ශ්‍රී ලංකා පොලිසිය නිරීක්ෂණය කර ඇත.

2025.11.05 වන දින පොලිස් මූලස්ථානය මඟින් පණිවිඩයක් බැහැර කර ශ්‍රී ලංකා පොලිසියේ සියළුම නිලධාරීන් දැනුවත් කරමින් ඔවුන් විසින් සිදු කරනු ලබන වැටලීම් වලදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්, දේපළ හා ඒ සම්බන්ධ තොරතුරු, අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගෙන් සිදු කරනු ලබන ප්‍රශ්න කිරීම් මාධ්‍ය මඟින් ප්‍රචාරයන් සිදු කිරීම සම්බන්දව නිසි උපදෙස් හා මඟපෙන්වීමක් සිදු කර ඇත.

අවිධිමත් ආකාරයට ප්‍රචාරය වන එනම් අධිකරණ කටයුතු වලට සහ සැකකරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්දයෙන් ගැටළුකාරී වන ඡායාරූප සහ වීඩියෝපට සංසරණය වීම හේතුවෙන් සිදු විය හැකි අගතිදායක තත්ත්වය වැළැක්වීම, මෙම පණිවිඩය බැහැර කිරීමේ අරමුණ විය.

ඒ අනුව, 2025.11.05 දාතමින් යුත් දැනුවත් කිරීමේ ආර්.ටී.එම් පණිවිඩයට සමඟාමීව පහතසඳහන් දිනයන්හීද මීට පෙර නිලධාරීන් දැනුවත් කර පොලිස් මූලස්ථානයෙන් පණිවිඩ නිකුත් කර ඇත.

  1. 2019.05.19 දිනැති ආර්.ටී.එම් 268 සී.ආර්.ටී.එම් 896
  2. 2020.10.31 දිනැති ආර්.ටී.එම් 56
  3. 2022.02.14 දිනැති ආර්.ටී.එම් 382 සී.ආර්.ටී.එම් 231
  4. 2024.07.12 දිනැති ආර්.ටී.එම් 316 සී.ආර්.ටී.එම් 259

මෙයට අමතරව 2025.10.27 වන දින ද පොලිස් මූලස්ථානය විසින් ජනසන්නිවේදන මාධ්‍යයන් වෙත තොරතුරු නිකුත් කිරීමේ නිර්ණායකයන් සම්බන්දයෙන්ද කරුණු පැහැදිලි කරමින් අවසන් වරට පණිවිඩයක් නිලධාරීන් වෙත නිකුත් කර ඇත.

පොලිස් මූලස්ථානය නැවත නැවත මෙලෙස කරුණු සිහිපත් කරනු ලබන්නේ පරිපාලනයේ පහසුව සඳහා මෙන්ම හුදෙක් නීති ක්‍ෂේත්‍රයේ සහ ඉදිරි අධිකරණ ක්‍රියාදාමයන්ට මෙන්ම විර්මශන ක්‍රියාවන්ට වන අගතිදායක තත්ත්වය මඟහරවා ගැනීමේ පරමාර්ථයෙනි.

ඒ අනුව පොලිස් මූලස්ථානයෙන් නිකුත් කරන ලද මෙම පණිවිඩය නිරන්තරයෙන් සිදු කරනු ලබන නිලධාරීන් දැනුවත් කිරීමේ එක් අවස්ථාවක් පමණක් වන වන අතර එය ශ්‍රී ලංකා පොලිසියේ වෘත්තීමය තත්ත්වය පවත්වා ගෙන යාම සඳහා සිදු කරනු ලබන සාමාන්‍ය ක්‍රියාවලියකි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය

Previous Post Next Post