Sri Lanka Day සමරන්න කෝටි 30ක්...


සක්‍රීයව දේශපාලනයේ සිටින තරුණ දේශපාලන නායකයින් එක්ව බහුජන බලය නමින් බහුජන සංවිධානයක් පිහිටුවා ඇත. එහි ප්‍රධාන අරමුණ වනුයේ වර්තමාන මාලිමා ආණ්ඩුවේ අදුරධර්ශි ක්‍රියාවන් පිළිබඳව පිළිබඳව ජනතාව දැනුවත් කරමින් එවන් ගැටළු වලට සාර්ථක පිළියම් යෝජනා කිරීමයි. 

ඒ අනුව බහුජන බලයේ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව බත්තරමුල්ලේදී පැවැත්වුනා. මේ සඳහා විවිධ පක්ෂ වල තරුණ ක්‍රියාකාරීන් එක් වුනු අතර ඔවුන් තම අදහස් දැක්වීමේදී ආණ්ඩුව කරන්න යන අලුත්ම වැඩක් ගැන අනාවරණය කළා. 

දොස්තර ප්‍රියංකර මහගම්මුල්ලගේ - බහුජන බලය සාමාජික (එ.ජා.ප)

බහුජන බලය අද දින ඔබ ඉදිරියට අප විසින් රැගෙන එන්නේ පක්ෂ පාට ජාති කුල මල ආගම් බේදයකින් තොරව සියලු ජනයාට පොදු අරමුණක් ඇතිව තම පක්ෂ වල අනන්‍යතාවයට ගරු කරමින් කටයුතු කල හැකි බහුජන ව්‍යාපාරයක් වශයෙන්. බොහෝ කුලකයන් තුල බහුජන ව්‍යාපාරයක් ගොඩ නැගීම පිළිබඳව කතා වුවත් එය යතාර්ථයක් කර ගැනීමට අපට හැකි වෙලා තියෙනවා. අද අප මෙතනට රැස් කරගත්තේ මෙම ව්‍යාපාරයේ නිර්මාතෘත්වය දරන සාමාජිකයින් පමණයි. 

අද මෙතන විපක්ෂයේ බහුතරයක් පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන් සිටිනවා. බොහෝ විට විපක්ෂ ධාරාව තුල විවිධ විසංවාදයන් තිබුනත් අපට හැකි වෙලා තියෙන මේ සියලු දෙනා එක වේදිකාවකට රැගෙන එන්න. 

අයවැය විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන වකනාවුක අපි මේ රජය කරන වැරදි විවේචනය කිරීමටත් රජය යම් වැඩදායි ප්‍රවේශයක් ගතහොත් ඒ වෙනුවෙන් පැසසුම් කිරීමටත් පසුබට වෙන්නේ නැහැ. ගියවර අයවැය අතරතුර Sri Lanka Day යනුවෙන් අලුත් දිනයක් ජනාධිපතිවරයා යෝජනා කළා කළා. එම දිනය දෙසැම්බර් 12 වැනිදාට සැමරීමට රජය කටයුතු කරන බවට ආරංචියි. ඒ විතරක් නෙවෙයි මේ සඳහා රුපියල් මිලියන 300ක් කෝටි 30ක් එහෙමත් නැත්නම් ලක්ෂ 3000ක් වැය කිරීමට නියමිත බව වාර්තා වෙනවා. 

සමස්ත ජාතියටම සිංහ ධජය යටතේ කිසිදු හිරිකිතයක් නැතිව සැමරීමට හැකි පෙබරවාරි 4 නිදහස් දිනය තිබෙද්දී, මැයි 22 ජනරජ දිනය තිබෙද්දී මීට අමතරව බොහෝ සංස්කෘතික දිනයන් තිබියදී මොකටද මේ තවත් දිනයක්. පාට පාට දේදුනු කොඩියක් සහ සංකල්පයක් ඉදිරියට ගෙන ඒමටද මේ විලම්භීත වැඩ ආණ්ඩුව කරන්නේ? රනිල් වික්‍රමසිංහ නිදහස් දිනය සමරන විට ඊට යන වියදම් ගැන විවේචනය කල ආණ්ඩුව, නිදහස් දිනයේ ගාම්භීරත්වය අඩු කිරීමට වියදම් කපා හල ආණ්ඩුව, රණවිරු දිනය සොල්දාදු දිනයක් කල ආණ්ඩුව, අලුත් දිනයක් අරගෙන එන්නේ අපේ ඉතිහාසය මකා දමා JVP ඉතිහාසයක් නිර්මාණය කරන්නද? 

අපි මේ රටේ මහජනතාවට ත්‍රයිනිකායික මහනායක හිමිවරුන්ට ඒ වගේම කාදිනල් හිමිපාණන්ට සැලකර සිටිනවා මේ ආණ්ඩුව කරන විකාර වැඩ ගැන අවධියෙන් අවධානයෙන් ඉන්න කියලා. ඉතිහාසය අලුතෙන් ලියලා, ඉතිහාසයේ ඇරියස් කවර් කරන්න ගන්දබ්භ වැඩ කරන ආණ්ඩුව සුද්දන්ටත් වඩා හොඳින් රටේ සංස්කෘතිය, ශිෂ්ඨාචාරය වෙනස් කරන්න අහදුවත් අපි එකා වනවා ඊට එරෙහිව මේ බහුජන ව්‍යාපාරය දියත් කරනවා.


කුමුදිනී බණ්ඩාර - බහුජන බලය සාමාජිකා (එ.ජා.ප)

අපේ රට ලෝකයේ රටවල් අතරින් වැඩිම නිවාඩු දිනයන් සංඛ්‍යාවක් සහිත රටක්. අපි ඉන්නේ තුන්වෙනි තැන .අපිට ඉහලින් ඉන්නේ නේපාලය සහ ඉරානය විතරයි. අපිට මේ තරම් විශාල  නිවාඩු සංඛ්‍යාවක් තියෙන්නේ අපට පොහොසත් සංස්කෘතියක්  තියෙන නිසා . මේ හැම  නිවාඩු දිනයකටම  යම්කිසි ජාතික, ආගමික හෝ  සංස්කෘතික වැදගත්කමක් තියෙනවා. මේ නිවාඩු ගොඩට තවත් නිවාඩුවක් අවශ්‍යද? කොළඹ පාරවල් වහගෙන සාමාන්‍ය ජනජීවිතයට බාධා කරමින් අලුතින් Sri Lanka දිනයක් දින දර්ශනයට එක් කිරීමෙන්  මහාමාන්‍ය DS  සේනානායක, FR සේනානායක, Sir James Peiris, GG  පොන්නම්බලම්, චෙල්වනායගම්, TB ජයා  වැනි නායකයින් මේ රටට උදාකර දුන් උතුම් නිදහස සමරන නිදහස් දිනය හෑල්ලු කරන්න මේ පන්තිවාදී වෛරී දේශපාලනය මතින් බලයට පැමිණි ආණ්ඩුව උත්සාහ කරනවා. මේ ඕපපාතික ශ්‍රී ලංකා දිනය සමරන්න බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් 12 වනදා . රුපියල් මිලියන 300ක් ඒ සඳහා වෙන් කරලා තියෙනවා. මේ වෙන් කරලා තියෙන්නේ ඔබේත් අපේත් බදු මුදල්.

මෙවැනි කිසිම පදනමක් නැති  ඕපපාතික  දිනයන් වලට වියදම් කරන මුදල ඇයි අඩු ආදායම් ලාභී පවුල්වල කාන්තාවන්ට තමන්ගේ ජීවනෝපායන් සවිමත් කරන්නට සරිලන වැඩපිළිවෙලක් හදන්නට වියදම් කරන්න බැරි? පයට සපත්තු ජෝඩුවක් ගන්න බැරිව මේ රටේ කී දාහක් දරුවෝ සෙරෙප්පු දාගෙන පාසල් යනවද? ඇයි ඒ දරුවෝ වෙනුවෙන් මේ මුදල් වියදම් කරන්නට බැරි? මේ වෙන් කල මුදලින් දරුවන් ලක්ෂයකට සපත්තු අරන් දෙන්න පුලුවන්.

 කොළඹ නාගරික පරිසරය තුල උදේ හවා සුද්ද පවිත්‍ර කරන අහිංසක මිනිස්සුන්ට හරියට උපකරණ නැහැ, ආරක්ෂක ආවරණ නැහැ. ඒ මිනිස්සුන්ගේ ජීවිත  මහපාරටම දියාරු වෙනවා. මේ වගේ බොරු show ඉවර වුනාම ඒ මිනිස්සු එපැයි මේවා සුද්ද පවිත්‍ර කරන්න. ඒ මිනිස්සුන්ගේ ජීවිත නගා හිටුවන්න මේ මුදල් පාවිච්චි කළා නම් මීට වඩා හොඳ නැත්ද? 

මේ ආණ්ඩුව කොහොමත් කලේ දුන් පොරොන්දු  අමතක කරලා සුරංගනා කතා කියලා රටේ ජනතාව මුලා කරපු එක.  මෙවර අය වැයේ දිත් ජනාධිපතිවරයා කිව්වනේ එතුමා අවුරුද්දක් තුල රට බංකොලොත් භාවයෙන් මුදවා ගත්තා කියලා. රටේ දුක්විඳින මිනිස්සුන්ට යමක් කරන්න මේ ආණ්ඩුවට දැන්වත් මොළේ පෑදේවා කියා ප්‍රර්ථනා කරනවා. අපි මේ රටේ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා, ඔබ ඔබේ කුස්සියේ කරන අරගලය අපට හොඳට තේරෙනවා. ඒ බර අඩුකරන්න අපි මේ ආණ්ඩුවට බල කරමු.  

අවසාන වශයෙන්, මේ ආණ්ඩුව මේ  ශ්‍රී ලංකා දිනය සමරන්න දෙසැම්බර් 12ම යොදාගන්න හේතුව මොකක්ද කියලා ඔබට හිතාගන්න පුලුවන්ද. මට නම් ආසන්නතම හේතුව විදිහට පේන්නේ එකම එකයි. මායාවරුන්ගේ කැලැන්ඩරයේ ලෝක විනාශය සිදුවනවා යැයි සඳහන් කරපු දිනය තමයි දෙසැම්බර් 12.  ඉතින් ලෝක විනාශය කෙසේ වෙතක්, ලංකාවට වැඩිම විනාශය ලබාදුන් පක්ෂයක් මුල්කරගෙන පිහිටවූ පක්ෂයකින් බිහිවූ ආණ්ඩුවක් දන්නේම විනාශ ගැනම පමණයි.  ඉතින් ඔවුන් වඩාත්ම දක්ෂ කාර්‍යය, විනාශයට සම්බන්ධ දිනයක් සමරන්න ඔවුන්ට හිතෙන එක සමාන්‍යයයි නේ?

චරිත් අබේසිංහ - බහුජන බලය සාමාජික (ස.ජ.බ)

 "ජනතා මුදල් සෝබන නාඩගම් වලට නොවේ! ඉතිහාසය වසන් කර ජාතිය අන්දන්න එපා!"

"ආණ්ඩුවේ අයවැය කතාව ඇසීම හරියට සුරංගනා ලෝකයක අතරමං වීමක් වගෙයි. වචන වලින් නම් අපි ඉන්නේ පාරාදීසයක. ගියවර ජනාධිපති අනුර මහතාගේ කතාවත් එහෙමයි. හැබැයි මේ කියන දේවල් වලින්, මේ වෙන්කරන මුදල් වලින්, සතයක්වත් පොළොවට එනවද? මේක වචන වලින් මවන මායාවක් විතරයි. දැන් මේ මායාව තවත් පියවරක් ඉදිරියට ගෙන, 'Sri Lanka Day' කියන නමින් අලුත්ම ජාතික නාඩගමක් රඟ දක්වන්න සූදානම් වෙනවා. මේ නාඩගම නටන්නේ ඇයි? 

අද දවසේ වෙඩිල්ල, දවසේ කුඩු ජාවාරම්කරුවා මාලිමාවෙන්ම මතුවනකොට, ඒක යටපත් කරන්න නටන නාඩගමක් තමයි මේක. 'Clean Sri Lanka' කියලා T-Shirt ගහගෙන මේ හදන්නේ ඒ ජපන් ජබර වහගන්න. මේ ජනතාවගේ බදු මුදල් කෝටි ගණන් ගිල දමන මහා සූදුවෙන් සෙතක් වෙන්නේ කාටද? ආණ්ඩුව වටේ ඉන්න ඇඩ්වර්ටයිසින් නෝනලා මහත්වරුන්ට, ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය ආයතන වලට,T-Shirt ගහන කොම්පැනි කාරයන්ට විතරයි.

අපි ආණ්ඩුවෙන් කෙලින්ම අහනවා: මේ රටේ ජනතාවගේ ලේ, දහඩිය, කඳුළු බදුවලට මිරිකා ගන්නේ, මාලිමාවේ කාඩර් එකට T-Shirt අන්දවන්නද?

සතයට වගකියනවා, මහජන මුදල් සුරකිනවා කියලා නේද බලය ගත්තේ? මේ ජනතාවගේ බදු මුදල් වලට වග කියන විදිහද? අපි ආණ්ඩුවට කෙලින්ම අභියෝග කරනවා! පුළුවන් නම් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් JVP ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරලා පෙන්වන්න!

මොකක්ද ඒ ඉතිහාසය? ඒ අරගල වලින් මේ රටට ලැබුණු දෙයක් නෑ. ඒවයෙන් රටට උරුම වුනේ දරුවො අහිමි වුනු දෙමව්පියන් ටිකක් සහ පියවරු අහිමි වුනු දරුවෝ ටිකක් පමණයි. ඒක, අපේ පැරණි නායකයෝ එක ලේ බිඳක්වත් නොසලා මේ රටට ලබාගත්තු අභිමානවත් නිදහස් අරගලය වගේ නෙවෙයි. ඒක, මනුෂීය මෙහෙයුමකින් ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටට සාමය ගෙනාපු යුද විජයග්‍රහණය වගේ නෙවෙයි.

අපිට තියෙන මූලිකම ප්‍රශ්නය මේකයි. අපේ ජාතික නිදහස් දිනයට මොකක්ද තියෙන අඩුපාඩුව? දශක ගණනාවක් පුරා මුළු ජාතියම එකට එකතු වෙලා අභිමානයෙන් සමරන ඒ උතුම් දිනය පසෙකලා, මේ අලුතින් හදන 'පච දින' මොකටද?

ඇයි ඔබට බැරි, එකම වියදමකින්, එකම අභිමානයකින්, අපේ නිදහස් දින උත්සවය සියලු ජාතීන් එකතු කරලා තවත් අභිමානවත්ව සමරන්න? එතකොට ජනතාවගේ බදු මුදල් කෝටි ගණන් ඉතිරි වෙන්නේ නැද්ද? නැත්නම් අපේ නිදහස් අරගලයේ ඉතිහාසය ඔබට අමතක කරන්න ඕනෙද?

ආණ්ඩුවේ මේ සෝබන වැඩ වලට, මේ ජාතික ධනය නාස්ති කිරීමට එරෙහිව අපි මේ රටේ සියලු ආගමික නායකයින්, සමස්ත ප්‍රජාව, සියලු දේශප්‍රේමී බලවේග සහ විපක්ෂය එකතු කරනවා.

මේ 'Sri Lanka Day' එක සාර්ථක කරලා පෙන්නන්න කියලා අපි අභියෝග කරනවා!

ඔබට මේ උත්සව පවත්වන්නම ඕන නම්, ඔබේ කෝටි ගණන් තියෙන පක්ෂ අරමුදලෙන් ඒක කරන්න. එහෙමත් නැත්නම් කෝටිපති ව්‍යාපාරික ඇමති වසන්ත සමරසිංහගෙන් ඉල්ලගෙන කරන්න. ඒකට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සතයකටවත්, ඒ අඳුරු ඉතිහාසය සුදු හුණු ගාන්නවත්, අද මතුවෙන කුඩු ජාවාරම් වහන්නවත් අත තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ! ඒ ජාතික අපරාධයට අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ!"

මිලින්ද රාජපක්ෂ - බහුජන බලය සාමාජික (ශ්‍රී.ල.පො.පෙ)

රනිල් වික්‍රමසිංහ වැල් පාලමේ අන්තිම කොනේදී භාර දීපු දරුවා අනුර කුමාර ජනාධිපති තුමා මුළු ගමනම වඩාගෙන ආවා වගේ ගමන් කරමින් ඉන්නවා. අනුන්ගේ කලිසම් තමන්ගේ වගේ ඇන්දට අපිට ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි රටේ මිනිස්සුන්ට ප්‍රශ්න අඩු රටක ජීවත්වෙන්න තියෙනවා නම් එච්චරයි. හැබැයි දරුවා වඩාගෙන ඉන්න විදිහ වැරදුනොත් දරුවා පාලමෙන් පහලට වැටෙනවා. ජයග්‍රහණයට පියවරු කෙතරම් හිටියත් පරාජයට පියවරු නැහැ. එදාට ඩෝබිලත් නැහැ, වොශින්ග්ටන්ලත් නැහැ. 

ලෝකයේ බොහෝ රටවල් සහ දියුණු ජාතීන් තමන්ගේ නිදහස් දිනය තම කැලැන්ඩරයේ වටිනාම දිනය විදිහට ගන්නවා. නිදහස් දිනය එක තැනක තියාගෙන එහි ගාම්භීරත්වය නැති කරමින්, ඊට මුදල් අඩුවෙන් වියදම් කරමින් හෝ එලෙස කරන්න යෝජනා කරමින් අමුතු අල්පේච්ච බවක් මාකට් කරමින් වෙනත් දිනයකට කෝටි ගණන් වියදම් කරනවා නම් ඒක තක්කඩි කමක්. කවුද මෙහෙම දවසක් ඉල්ලුවේ? 

අද ගොවියෝ මහ පාරට බැහැලා. එක් කණ්ඩායමක් නෙවෙයි, අල ගොවියා පාරට බැහැල, ළූණු ගොවියා පාරට බැහැලා, සහල් ගොවියා පාරට බැහැලා, බඩ ඉරිඟු ගොවියා පාරට බැහැලා, එළවලු ගොවියා පාරට බැහැලා. ඒ අහිංසක මිනිස්සුන්ගේ අස්වැන්න ගෙවල් වලම කුණු වෙලා යනවා. මාලිමා ආණ්ඩුව කෝටි ගණන් වියදම් කරමින් කැලැන්ඩරේට අලුතින් දින ගේනවා. ලක්ෂ ගණන් වියදම් කරලා රිලා සංගණනයක් කළා. කෝ ඒවාට ගත්ත ක්‍රියාමාර්ග? ඔය නිරපරාදේ වියදම් කරන මුදල් ටිකෙන් අහිංසක ගොවි මහත්වරුන්ට සහනයක් දෙන්න බැරිද? ළූණු ගෙඩියේ විෂ්කම්භය මනින්නේ නැතිව අර මිනිස්සුන්ගේ ළූණු ටික මිලට ගන්න බැරිද? අන්තිමට ගොවියත් අනාතයි, පාරිභෝගිකයත් අනාතයි!

අද ආරක්ෂාවට වෙන් කරන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ආරක්ෂක අංශ සාමාජික සංඛ්‍යාව අඩු කරනවා වියදම් කපා හරින්න ඕනේ කියලා. ඉන්දියාවෙන් මේ වෙනකොටත් රටට එරෙහි අලුත් සංවිධාන ගොඩ නැගීම සහ පරණ සංවිධාන යතාවත් වීම පිළිබඳව අනතුරු අඟවනවා. අනවශ්‍ය වියදම් කපා හරින්න ආපු ආණ්ඩුව අද අලුතෙන් වියදම් එකතු කරනවා. වියදම් කරන්න ඕන තැන්වලට වියදම් නොකරන ආණ්ඩුව අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවා. මේවට නෙවෙයි මිනිස්සු මේ ආණ්ඩුව පත්කරගත්තේ. පත්කරගත්ත මිනිස්සුම තමයි මේ ආණ්ඩුව ළඟදීම ගෙදර යවන්නෙත්. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා කෝටි ගණන් මුදල් නාස්ති නොකර මේ රටේ සංකෘතියට සභ්‍යත්වයට අභියෝග නොකර කරන්න ආපු වැඩේ කරලා ගෙදර යන්න කියලා.

මෙයට දේශප්‍රේමයෙන්,

ඉරංඟ මෙන්ඩිස්
(කැඳවුම්කරු)
බහුජන බලය

Previous Post Next Post