ආපදාවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් සහනාධාර ලබාදීමේ ක්‍රියාවලියට රජයේ දේශපාලන නියෝජිතයන් බලපෑම් කරන බවට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම ලධාරීන්ගේ සංගමය මේ වනවිට චෝදනා කරයි.
සහනාධාර ලබාදීමේ කටයුතු වලදීත්, ඒ වගේම කඳවුරු පවත්වාගෙන යාමේ කටයුතු වලදීත් විවිධ දේශපාලඥයන්ගේ බලපෑම් ග්‍රාම නිලධාරීන්ට එල්ල වී ඇති බව සංගමය පවසයි.
පෙර රජයන්ට සාපේක්ෂව මෙම රජයේ සමහර දේශපාලඥයන්, විශේෂයෙන් දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය නායකයින් පවා ග්‍රාම නිලධාරී කටයුතුවලට බාධා කරන අවස්ථාවන් බහුලව වාර්තා වී ඇති බව සංගමය සඳහන් කරයි.
කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල පැහැදිලිවම දේශපාලන අධිකාරිය ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිසාපතිවරුන්ට ලිපි පවා එවමින් කියා ඇත්තේ කඳවුරු සඳහා තමන්ගේ නියෝජිතයන් නම් කරන ලෙස දන්වා ඇති බවත් ඔවුන් චෝදනා කරයි.
සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පෙන්වා දෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ප්‍රජාශක්ති නිලධාරීන්ගෙන් සහ දේශපාලන අධිකාරියෙන් අත්සන් ගන්නා ලෙසට බලපෑම් කර ඇති බවත් රුපියල් 25,000 දෙන සහනාධාරය සම්බන්ධයෙන් දේශපාලනාධිකාරියෙන් නිර්දේශ ලබා ගැනීමට ගියහොත් ග්‍රාම නිලධාරීවරයාගේ ස්වාධීනව කරන රාජකාරියට බාධාවක් ඇති වන බවත්ය.
මේ සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් දිසාපතිවරයා ලිපි නිකුත් කර ඇති බවත්, කුරුණෑගල දිස්ත්‍රික් දිසාපතිවරුන්ට පවා බලපෑම් කර ඇති බවත් හෙතෙම පැවසීය.
තවදුරටත් මේ සහනාධාර බෙදීමේ ක්‍රියාවලියේදී ග්‍රාම නිලධාරීවරයාට කමිටු හරහා වූ දේශපාලන අධිකාරිය හරහා වූ හෝ ප්‍රාදේශීය දේශපාලනියන් හරහා වූ යම්කිසි බලපෑමක් එල්ල කරන්නේ නම්, මෙම අවස්ථාවේ වෘත්තීය ක්‍රියා මාර්ග වලට යාමට සිදු වන බව සංගමය පැහැදිලිව අවධාරණය කරයි.
