අද පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිතුමා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේ බාල ඖෂධ විස වීම නිසා රෝගින්ගේ ඇස් අන්ධ වුණා කියලා ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වුණා. මම වගේම ජනාධිපතිතුමාත් ඒ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා. එතුමා ඇමති මණ්ඩලයේ සිටිය දීම එතුමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙලා කැබිනට් ඇමති ධූරයක් දරමින් රක්ෂිත බන්ධනාගාර ගත වුණු පළමු ඇමතිවරයා ලෙස ඉතිහාසයට එකතු වුණා.
දැන් බාල ඖෂධ නිසා රෝගීන් දෙදෙනෙකු මිය ගිහින්. මිය යෑමට හේතුව ලෙස හඳුනා ගෙන තිබෙන්නේ එන්නත් තුල බැක්ටීරියා අඩංගු වීමයි. එදා ඇමතිවරයා වගකිවයුතු බවට ඇමතිවරයාට දඬුවම් කළ යුතු බවට රටට කියූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා අද සෞඛ්‍ය ඇමති වෙලා කියනවා මේකට ඇමතිවරයා වගකිවයුතු නෑ කියලා. මේක හතර බීරි කතාවක්නෙ. දොං නම් දොං. සිමං නම් සිමං. දොං සිමං දෙකක් බෑ. මාලිමාවට ඕනෑ විධියට නීතිය නවන්නේ නැතිව කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පොලිසියට සහ නීතිපතිට ලැබුණු නිදහස නලින්ද ඇමතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වීමටත් ලබා දෙන්න කියලා අපි ජනාධිපතිතුමගෙන් ඉල්ලා සිටිනවා. බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, අසෝක රන්වල සහ සංජිව රණසිංහ යන මැති ඇමතිවරුන් රැක ගන්න නීතිය නැව්වා වගේ මේ අවස්ථාවේත් නීතිය නැමුවොත් ජනතාව ආණ්ඩුව අට පට්ටමක් වෙන තුරුම නවාවි කියන අනතුරු ඇඟවීම කරනවා.
මේ සිදුවීම් දෙකේ අපූරු සමානකමක් තිබෙනවා. ඇමතිවරු දෙදෙනා යටතේම රෝගින්ට විෂ වෙන්නේ ඉන්දියානු බෙහෙත්. Indian Pharmacopeia Commission නැතිනම් ඉන්දියානු ඖෂධ සංග්‍රහ කොමිසම අනුමත කළ බෙහෙත්. ඒ අතරේ ලංකාව ඉන්දියානු ඖෂධ ප්‍රමිතියට ලංකාව තුල පිලිගැනීමකට ලක් කරමින් 2025 අප්‍රේල් 5 දා ඉන්දියාව සහ ලංකාව අතර ගිවිසුමක් අත්සන් කරනවා. ඒ හරහා බ්‍රිතාන්‍ය ප්‍රමිතිය, ඇමෙරිකානු ප්‍රමිතිය සහ යුරෝපීය ප්‍රමිතියට අමතරව ඉන්දියානු ප්‍රමිතියත් ඖෂධ සම්බන්ධයෙන් ලංකාවේ පිලිගැනීමට ලක් වෙනවා. එතකොට ඉන්දියානු ඖෂධ නිෂ්පාදකයා ඒ රටෙන් ඉදිරිපත් කරන සහතිකය ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය පිලිගත යුතු වෙනවා. ඉන්දියානු බාල බෙහෙත් බීලා රෝගින් මිය යන අතරේ මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම රටට මාරාන්තිකයි.
මේ ගිවිසුම අබිරහසක් වෙලා තිබුණේ. “ඉන්දියානු හොර ගිවිසුම් හෙලි කරනු” කියලා පාර පුරා තාප්ප පුරා සටන් පාඨ ලියූ මාලිමාව විසින්ම ඉන්දියාව එක්ක ගිවිසුම් හතක් අත්සන් කරලා රහෙස් සඟවා ගෙන ඉන්නවා. ආණ්ඩුව තමන් අත්සන් කලේ රටට වාසිදායක ගිවිසුමක් නම් අත්සනේ තීන්ත වේලෙන්නත් කලින් ප්‍රසිද්ධ කරනවා. මේ ගිවිසුම් රටට හානිදායක නිසා තමයි ආණ්ඩුව හංගන්නේ. ආණ්ඩුවක් නොවේ පුංචි දරුවොත් එහෙමයි. දරුවා පන්තියේ පළමු වෙනියා වුණා නම් අම්මා අහන්නත් කලින් දුවගෙන ඇවිත් ප්‍රගති වාර්තාව පෙන්වන්නේ. විෂයන් ඔක්කෝම අසමත් වුණොත් ප්‍රගති වාර්තාව ගඟේ යනවා. කීයටවත් පෙන්වන්නේ නෑ. අපි ඉන්දියානු ගිවිසුම් තේරුම් ගන්න ඕනි එහෙමයි.
මේ සඟවා ගෙන සිටින ගිවිසුම් වලින් තුනක්, මම ප්‍රසිද්ධ කලා. නමුත් ඒවායේ රටට තිබෙන හානි මම විතරයි කතා කලේ. ඒ වගේම දැන් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් සෞඛ්‍ය ගිවිසුම ප්‍රසිද්ධ කර තිබෙනවා. නමුත් ඒ ගැන සමාජ සංවාදයක් නෑ. ඉන්දියාව තරහා වේවි කියන බයට වෙන්නැති. ඉන්දියාව මායිමේ සිටින අපේ එකම අසල්වැසියා. නැගී එන ලෝක බලවතෙක්. ඉන්දියාව සමග සුහදශීලි සම්බන්ධයෙන් පවත්වා ගැනීම ලංකාවට වැදගත්. මේ ඔක්කෝම ඇත්ත. අපිත් ඉන්දියාව සමග සුහදව ගනුදෙනු කරලා තිබෙනවා. නමුත් මිත්‍රකම රැක ගැනීම වෙනුවෙන් ජනතාවගේ ජීවිත බිලි දෙන්න බෑ. අපට අසල්වැසි මිත්‍රත්තවයට වඩා ජනතාවගේ ජීවිත ලොකු වෙන්න ඕනි. ඒ නිසා මාරාන්තික ඖෂධ ඉන්දියාවේ අනුමත වුණේ කොහොමද කියන එක පිළිබඳ විෂය ක්ෂේත්රයේ විද්වතුන් විසින් වහාම සංවාදයක් ඇරඹීම ජාතික අවශ්‍යතාවයක්.
