නාවලපිටිය, ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් තමන්ට පහර දුන් බවට ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් අදාළ ව්‍යාපාරිකයා සඳහන් කර ඇත්තේ, පසුගිය 28 වැනිදා රාත්‍රී 11.30 ට පමණ සිය වෙළඳසැල වසා නිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට මුහුණ දීමට සිදු වූ බවයි.
දේශපාලන කාරණාවක් මුල් කරගනිමින් ඇති වූ බහින්බස් වීමක් අවසානයේ, සභාපතිවරයා ඇතුළු පිරිසක් තම මග අවහිර කර පහර දුන් බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
තුවාල ලැබූ පුද්ගලයා මුලින් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභා සභාපති ඉන්දික ගුණසේකර මහතා, තමන් කිසිදු පහරදීමකට සම්බන්ධ නොවූ බව අවධාරණය කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි සටහන් කරගනිමින් නාවලපිටිය පොලිසිය පුළුල් පරීක්ෂණයක් පවත්වයි.
