කුණාටු ආධාර සමුළුවට තාම දිනයක් නෑ..



සුළි සුළඟින් හානියට පත් ප්‍රදේශ යළි ගොඩනැඟීම සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් පැවැත්වීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර ආධාරකරුවන්ගේ සමුළුව තවදුරටත් ප්‍රමාද වෙමින් පවතින බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි. 

මෙම ප්‍රමාදය හේතුවෙන් විපතට පත් ජනතාවගේ සහ ප්‍රජාවන්ගේ යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලියට මෙන්ම රටේ සමස්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ද දැඩි බාධා එල්ල වී තිබේ.

මීට පෙර රජය ප්‍රකාශ කර තිබුණේ මෙම ආධාරකරුවන්ගේ සමුළුව මේ වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ බවයි. 2026 වසරේදී ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වැය කිරීමට රජය සැලසුම් කර ඇත.

මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන ජාත්‍යන්තර සමුළුව හරහා රැස්කර ගැනීමට රජය අපේක්ෂා කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළේ, යෝජිත සමුළුවට අදාළ කිසිදු නිල සන්නිවේදනයක් හෝ සූදානමක් පිළිබඳ තොරතුරු මෙතෙක් තම ඒකකයට වාර්තා වී නොමැති බවයි. කෙසේ වෙතත්, ජනවාරි මස අවසානය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ලබාදීමට නියමිත ඇගයීම් වාර්තාවක් ලැබෙන තෙක් රජය බලා සිටින බව වාර්තා වේ.

ඇමරිකානු ඩොලර් බිලියන 3ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන පස්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මේ වන විට කොළඹ රැඳී සිටිති. 

මේ අතර, මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව එම අරමුදලේ ආසියා ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පසුගිය බදාදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවකදී තහවුරු කළේය.

 සුළි සුළඟින් සති කිහිපයකට පසු රජය විසින් පිහිටුවන ලද "ශ්‍රී ලංකා යළි ගොඩනැඟීමේ අරමුදල" සඳහා මෙරට සහ විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් මේ වන විට රුපියල් බිලියන 8.5කට අධික මුදලක් ලැබී ඇත.

1 Comments

  1. වැඩ බෑ.. වැඩ බෑ... වැඩ අ. අ.. අ.. බෑ..ඈ..ඈ..මයි

    ReplyDelete
Previous Post Next Post