වන රක්‍ෂිතවල බොරලු කැපු සැකකරුවන් ඇමති අණින් පොලිස් භාරයෙන් මුදාහරී...

 


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට අයත් රජයේ ඉඩම්වල මාසයක පමණ කාලයක සිට සිදුවන නීති විරෝධී බොරලු කැපීම් වැටලීමට ගිය නිලධාරීන්ට දේශපාලනඥයින්ගෙන් එල්ල වූ බාධා කිරීම් හේතුවෙන් සැකකරුවන් නිදහස් කිරීමට සිදුවීමේ පුවතක් ගල්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලංචිය අංකෙද රක්ෂිතයේ සිදු කළ වැටලීමකදී, නීති විරෝධී ලෙස බොරලු කපමින් සිටි ට්‍රැක්ටර් රථ හතක් සහ රියදුරන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් උත්සාහ කිරීමේදී එම ස්ථානයට පැමිණි ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති විජයරත්න බණ්ඩා මහතා, අදාළ බොරලු කැපීම ප්‍රදේශයේ විනාශ වී ඇති මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා සිදු කරන බව පවසමින් නිලධාරීන්ගේ රාජකාරියට විරෝධය පළ කර ඇත. 

පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතට අනුව නිලධාරීන් කටයුතු කිරීමට උත්සාහ කළද, ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු පිරිස ඊට දැඩි බාධා පමුණුවා තිබේ.

අත්අඩංගුවට ගත් ට්‍රැක්ටර් රථ සහ සැකකරුවන් පොලිසිය වෙත රැගෙන යාමට උත්සාහ කිරීමේදී සභාපතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් මාර්ගය හරස් කරමින් නිලධාරීන්ට අවහිර කර ඇත. 

මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මහතාද එක්ව සිට ඇත.

පවතින දැඩි විරෝධය හමුවේ සැකකරුවන් පොලිස් භාරයට ගැනීමට නිලධාරීන්ට නොහැකි වී ඇත. 

මේ පිළිබඳව භූවිද්‍යා නිලධාරීන්ගෙන් විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගත් තීරණයක් මත මෙම බොරලු කැපීම සිදුවන බැවින්, අමාත්‍යවරයෙකු ලබාදුන් උපදෙස් මත අදාළ පිරිස අත්අඩංගුවට ගැනීම අත්හිටුවීමට සිදු වූ බවය.

2 Comments

  1. පුනරුදාව

    ReplyDelete
  2. මේක පුදුම විදිහට නීතිය නැමීමක් නේ. ප්‍රා. සභාපති මොකාද, ඌට අවශ්‍ය විදිහට රක්ෂිතවලින් බොරළු කපන්නෙ? කොන්ත්‍රාත් එකත් එයාමද දන්නෙ නෑ අරගෙන තියෙන්නෙ. මදෑ මාලිමාවට ඡන්දෙ දෝපු මොට්ට රැල වෙනසක් බලාපොරොත්තු උනා.

    හිරු තහනම් කරන්න යන්නෙ මේක නිසාද?

    ReplyDelete
Previous Post Next Post