ලයිෂන් නැති හොර වාහනය නැවතුවැයි මාලිමා ලොක්කෙක් පොලිසියේ යකා නටයි..


බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මහවැලි මහතා (ජාතික ජන බලවේගය) සහ පොලිස් නිලධාරීන් පිරිසක් අතර ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ අදාළ සභාපතිවරයා පදවාගෙන ආ යතුරුපැදිය මාර්ග රාජකාරියේ නියුතු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කිරීමත් සමඟය.

පොලිස් නිලධාරීන්ගේ පැමිණිල්ලට අනුව, මුහුණ ආවරණය වන පරිදි හිස්වැසුම් පැළඳ සිටි යතුරුපැදිකරුවකු නතර කර ලියකියවිලි පරීක්ෂා කිරීමට යාමේදී ඔහු තමා සභාපතිවරයා බව පවසා නිලධාරීන්ට බැණ වැදී ඇත. 

අනතුරුව ලියකියවිලි නොමැතිව යතුරුපැදිය ධාවනය කළ නොහැකි බව පවසමින් එය පොලිස් ස්ථානයට රැගෙන ආ අවස්ථාවේදී, සභාපතිවරයා අශෝභන ලෙස හා කලහකාරී ලෙස හැසිරුණු බව පොලිසිය චෝදනා කරයි. 

සභාපතිවරයාගේ මෙම හැසිරීම තම ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කළ බවත්, ඒවා විමර්ශන සඳහා ඉදිරිපත් කරන බවත් අදාළ නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

මේ පිළිබඳව අදහස් දක්වන අනුරුද්ධ මහවැලි මහතා පවසන්නේ තමා පොලිස් අණට කීකරු වී යතුරුපැදිය නතර කළ බවයි. තමා කවුදැයි හඳුන්වා දුන් පසුවත් නිලධාරීන් එය නොතකා තමා අපහසුතාවට පත් කළ බවත්, රියදුරු බලපත්‍රය ඇතුළු ලියකියවිලි නිලධාරීන් භාරයට ගත් බවත් ඔහු පවසයි. ලේඛන නොමැතිව යතුරුපැදිය ධාවනය කළ නොහැකි බැවින් එය පොලිසියට භාර දී තමා නිල රථයෙන් පිටව ගිය බවත්, එහිදී තමා කලහකාරී ලෙස හැසිරුණු බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සභාපතිවරයා අවධාරණය කරයි.

දෙපාර්ශවය විසින්ම ඉදිරිපත් කරන ලද පැමිණිලිවලට අදාළව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අහුන්ගල්ල පොලිසිය විසින් එම ලිපිගොනු අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වෙත යොමු කර ඇත

Previous Post Next Post