පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයේ යොදවා තිබෙන පෞද්ගලික ආරක්‍ෂක සේවයට අයත් කාන්තා ආරක්‍ෂක නිලධාරීනියකට ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලත් ආරක්‍ෂක නිලධාරියෙකු පේරාදෙණිය පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින අවස්ථාවේදී නීතීඥයෙකු මාර්ගයෙන් පසුගිය 22 වන දින මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් ලක්‍ෂ දෙකක පුද්ගලික ඇපයක් මත මුදාහැරීමට කටයුතු කර තිබේ.
මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂක පරීක්‍ෂකවරයෙකු ලෙස කටයුතු කරන තැනැත්තෙකි.
තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කරන අවස්ථාවේදී තමන්ව අධික්‍ෂණය කිරීම සදහා පත්කර ඇති ආරක්‍ෂක පරීක්‍ෂකවරයා ඔහුගේ නිල බලය භාවිතා කරමින් අනියම් ලිංගික කටයුතු සදහා පොලඹවා ගැනීමට උත්සාහ ගත් බවත්" තමන් ඊට අකමැතිවූ හෙයින් විවිධ පලිගැනීම් වලට ලක්වූ බවත්" පසුව එම නිලධාරියාගේ බලපෑම මත තම රැකියාව අහිමිකල බවත් කියා සිටිමින් ආරක්‍ෂක නිලධාරිනියක විසින් පේරාදෙණිය පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය වෙත සිදුකරන ලද පැමිණල්ලක් අනුව විමර්ශන සිදුකල පොලිසිය අදාල නිලධාරියා වන ලලිත් වීරසිංහ නැමැත්තාට එරෙහිව 2025-06-12 වන දින නඩු පැවරීමට කටයුතු කර තිබුනි.
මෙම පැමිණිල්ල සිදුකල ආරක්‍ෂක නිලධාරිනිය චෝදනා ලත් ආරක්‍ෂක නිලධාරියා තමන්ට සේම තවත් කාන්තා නිලධාරිනියන් කිහිපදෙනෙකුටද අතවර සිදුකල බවත් එම හේතුව නිසාම ඔවුන් රැකියාව හැරගොස් ඇති බවත් සිය පැමිණිල්ල මගින් කියා ඇත.
මේ සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පේරාදෙණිය පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය කටයුතු කරමින් සිටින අවස්ථාවේදී ඔහු 2026-01-22 වන දින නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්වී තිබෙන අතර අධිකරණය විසින් දින තුනක් තුල පේරාදෙණිය පොලිස් ස්ථානයට ඉදිරිපත්ව ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසත්" 2026-03-26 වන දින නැවත අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත්" නියම කරමින් රුපියල් ලක්‍ෂ දෙකක පුද්ගලික ඇපයක් මත ඔහු මුදා හැර තිබේ.
