දොස්තර සටන තව තීව‍්‍ර කරයි..

 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

නිදහස් සෞඛ්‍ය සහ රෝහල් පද්ධතිය රැකගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියේදී තවත් තිව්‍ර කිරීමේ සූදානමක්.

මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් දීප ව්‍යාප්තව සිදු කෙරෙමින් පවති. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුලින් රටේ සමස්ත වෛද්‍ය ප්‍රජාව මේ වන විට මුහුණ පා ඇති වෘත්තීමය ගැටලු පිළිබිඹු කිරීම ද සිදුවේ. මෙහිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ලෙස අප විසින් සිදු කරනු ලබන්නේ මෙතෙක් පුද්ගලික වශයෙන් අවදානමක් ගනිමින් සහ නියමිත සේවාවට වඩා කිහිපගුණයක් වැඩිමනත් ලෙස සිදු කරන්නට යෙදුනු සහ ඒ සහා කිසිු අමතර පහසුකමක් හෝ මුල්‍යමය ප්‍රතිලාභයක් ලබා නොදුන් කාර්යයන්ගෙන් ඉවත් වීම වේ. මෙමගින් යම් අපහසුතාවයක් පොදු මහජනතාවට සිදු වන්නේ නම් එහි පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය භාරගත යුතු බවට අපි අවධාරණය කර සිටින්නෙමු.    

එමෙන්ම විවිධ පාර්ශවයන් විසින් මේ වන විට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ස්ථානමාරු ක්‍රියාවලිය මුලික කරගනිමින් සිදු කරන බවට අසත්‍ය ප්‍රචාරයක් සිදුකරමින් සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය වන්නේ නිසි ක්‍රමවේදයට අනුකූලව වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු නියමිත ක්‍රමවේදය තුල සිදු විය යුතුය යන්නයි. නමුත් අවාසනාවන්ත ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් කිහිපදෙනෙකුගේ අකාර්යක්ෂමතාවය නිසා මේ වන විට වෛද්‍ය ස්ථානමාරු 8000 කට ආසන්න ප්‍රමාණයක් තවමත් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැත.  

නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍ය වෙත සිදු කරන යම් ප්‍රකාශ ඔස්සේ පෙනි යන්නේ එතුමාද සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහත කී සමහරක් නිලධාරීන් නොමග යවා වැරදි දත්ත ලබා දී ඇති බවයි. ඒ තුලින් සෞඛ්‍ය අමාත්‍යවරයාටද තම ප්‍රතිරූපයටද හානි කරගනිමින් පරස්පර විරෝධි ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කිරීමට ඉතා අවාසනාවන්ත ලෙස සිදු වී ඇත.  

වෛද්‍ය ස්ථානමාරු දේශපාලනිකරණය නොකරමින් පිළිගත් ක්‍රමවේදය තුලින් සිදු වනු දැකීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 23000 ක සාමාජිකත්වයේ අභිප්‍රාය වන අතර මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සහා පාදක වී ඇත්තේ වෙනත් කරුණු කාරණා සහ ඉල්ලීම් කිහිපයක් වේ. ඒවා නම්,

1.     සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.

2.     වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම

3.     22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිම

4.     අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම

5.     පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳිම

6.     පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදෙන වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම

7.     සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම

8.     ඉහත ගැටලු කාල රාමුවක් සහිතව විසඳිම සඳහා මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම

 නමුත් තව දුරටත් මෙම ගැටලු සහා රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතිචාර නොදක්වමින් උද්ධච්ච ආකාරයට කටයුතු කරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තිව්‍ර කිරීම සහා ඒකමතිකව තීරණය කර ඇත. 

එහි දිගුවක් ලෙස මහජන සෞඛ්‍ය සේවාවේදි මුහුණපාන ගැටලු සාකච්ඡා කිරීම සහා 2026 පෙබරවාරි මස 11 වැනි දින දිවයින පුරා රාජකාරි කරනු ලබන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුලස්ථානයට කැවීමට කටයුතු සුදානම් කර තිබේ. එම සාකච්ඡාවෙන් පසු ලබා ගන්නා තීරණ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබව තීරණය කරනු ඇත.  

Previous Post Next Post