පොලිස් වාර්තා දෙන ක‍්‍රමයේ වෙනසක්..


 දේශීය හා විදේශීය පුරවැසියන් සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා (Police Clearance Certificates) නිකුත් කිරීමේ කඩිනම් සහ විධිමත් ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ දැනුවත් කිරීමක් සිදු කර ඇත.

විදේශගත පුද්ගලයන් සඳහා ක්‍රමවේදය

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට ප්‍රධාන ක්‍රම දෙකක් ඔස්සේ අයදුම් කළ හැකිය:

  • මාර්ගගත ක්‍රමය (Online): ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය (www.police.lk) හරහා 'E-service' යොමුවෙන් 'Clearance Certificates' තෝරා අයදුම් කළ යුතුය.

  • තානාපති කාර්යාල හරහා: අදාළ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අයදුම් කිරීමේ හැකියාව පවතී.

විදේශගතව සිටින අයෙකු මේ සඳහා රුපියල් 5,100 මුදලක් ගෙවිය යුතු අතර, මුදල් ලදුපත ලැබී දින 14ක් ඇතුළත වාර්තාව ලබාගත හැකිය.

දේශීය පුරවැසියන් සඳහා ක්‍රමවේදය

අධ්‍යාපන, ව්‍යාපාරික හෝ වෙනත් අවශ්‍යතා සඳහා මෙරට සිටින පුද්ගලයන්ට තම පදිංචි වසමේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකිය.

  • අවශ්‍ය ලිපිලේඛන: සම්පූර්ණ කළ අයදුම්පත, ග්‍රාම නිලධාරී සහතිකය, ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය.

  • කාලය: නිසි විමර්ශන කටයුතු වලින් අනතුරුව පැය 48 ක් ඇතුළත වාර්තාව නිකුත් කරනු ලැබේ.

වැදගත් උපදෙස් සහ සංශෝධන

අයදුම්පතේ වැරදි තොරතුරු ඇතුළත් කිරීමෙන් වාර්තාව ලබා ගැනීමට ගතවන කාලය දීර්ඝ විය හැකිය.

පවතින නඩු කටයුතු, විදේශයකින් පිටුවහල් කර ඇත්නම් ඒ පිළිබඳ විස්තර සහ අයදුම්කරු ත්‍රිවිධ හමුදා හෝ පොලිස් නිලධාරියෙකු ද යන්න අනිවාර්යයෙන් සඳහන් කළ යුතුය.

අයදුම්පත යොමු කර පැය 72 ක් ඇතුළත යම් සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් පහත අංක ඔස්සේ පොලිස් නිෂ්කාශන අංශය ඇමතිය හැකිය

WhatsApp: 071 8592990

දුරකථන: 011 2439185 / 011 2439186 / 011 212800

නීති විරෝධී හෝ අපරාධමය ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් සඳහා 'අයහපත් නිෂ්කාශන වාර්තා' (Negative Reports) නිකුත් කරන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දන්වා සිටියි





Previous Post Next Post