සවුදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ඉන්ධන පිරවුම් ගුවන් යානා පහකට හානි සිදුව ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කරයි.
ඇමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් පළ වූ මෙම වාර්තාවලට අනුව, ප්‍රහාරයට ලක්වූ යානා සම්පූර්ණයෙන්ම විනාශ වී නොමැති අතර ඒවා මේ වන විට අලුත්වැඩියා කරමින් පවතී. මෙම ප්‍රහාරයෙන් කිසිදු පුද්ගල මරණයක් වාර්තා වී නොමැත.
මේ අතර, බටහිර ඉරාකයේදී සිදු වූ තවත් ගුවන් අනතුරකින් ඇමෙරිකානු හමුදාවේ KC-135 වර්ගයේ යානයක් කඩා වැටී එහි සිටි කාර්ය මණ්ඩලයේ සය දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම අනතුර සතුරු ප්‍රහාරයක් නිසා සිදු වූවක් නොවන බවත්, එය තවත් ගුවන් යානයක් සම්බන්ධ වූ අනතුරක් බවත් ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, ඉරාකයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක් වන 'ඉරාකයේ ඉස්ලාමීය ප්‍රතිරෝධය' නම් සංවිධානය මෙම යානය බිම හෙලීමේ වගකීම භාරගෙන ඇත.
පෙබරවාරි 28 වැනිදා ඉරානයට එරෙහිව ආරම්භ වූ හමුදා මෙහෙයුම්වලින් පසුව මේ දක්වා ඇමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීට අමතරව ඉරාන-ඇමෙරිකානු ගැටුම් හේතුවෙන් ඇමෙරිකානු සෙබළුන් 150ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කළේ, යුද්ධය යනු අවුල් සහගත තත්ත්වයක් වුවද ඉරානයට එරෙහි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර හමුවේ තවදුරටත් ඇමෙරිකානු සෙබළුන්ගේ ජීවිත හානි සිදුවිය හැකි බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අනතුරු අඟවා ඇත. ඉරාන ගැටුම් සඳහා ඇමෙරිකාව මැදපෙරදිග කලාපයට විශාල වශයෙන් ගුවන් යානා යොදවා ඇති අතර, KC-135 වැනි ඉන්ධන පිරවුම් යානා මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකේ.
