ආර්.එම්. පාක් (RM Parks) සමාගමට අයත් පිරවුම්හල් සඳහා ඩීසල් ඇනවුම් ලබාදීම අත්හිටුවීමට එම සමාගම තීරණය කර ඇති බව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් බන්දුල සමන් කුමාර මහතා පවසයි.
ලේකම්වරයා පෙන්වා දෙන්නේ මේ මස 16 වනදා දක්වා ඩීසල් ඇනවුම් කිරීමෙන් වළකින ලෙස එම සමාගම සිය බෙදුම්කරුවන්ට පණිවිඩයක් මගින් දැනුම් දී ඇති බවයි.
ලබන 16 වනදා ඉන්ධන රැගත් නැවක් පැමිණීමට නියමිත වුවද, එය ගොඩබෑම සඳහා තවත් දින කිහිපයක් ගතවන බැවින් ඉදිරි දින කිහිපය තුළ වෙළඳපොළේ ඩීසල් හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව ඔහු අනතුරු අඟවයි.
මෙම තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් බන්දුල සමන් කුමාර මහතා ප්‍රකාශ කළේ, ලංකාවේ ඉහළම අලෙවියක් ඇති පිරවුම්හල් ආර්.එම්. පාක් සහ සිනොපෙක් වැනි පෞද්ගලික සමාගම් වෙත ලබා දී ඇති බවයි. එම පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් ඇති වූ විට, පාරිභෝගික ජනතාවට ඉන්ධන සැපයීමේ සම්පූර්ණ බර සහ වගකීම නැවත වතාවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙත පැවරෙන බව ඔහු පෙන්වා දෙයි.
"ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙරටට ඉන්ධන රැගෙන එන්නේ මෙට්‍රික් ටොන් 35,000 - 40,000 වැනි විශාල නැව් මගින්. නමුත් පෞද්ගලික සමාගම් බොහොමයක් රැගෙන එන්නේ මෙට්‍රික් ටොන් 15,000 - 20,000 වැනි කුඩා ප්‍රමාණයේ නැව්," යැයි ඔහු සඳහන් කළේය.
ඉන්ධන වෙළඳපොළ පෞද්ගලීකරණය කිරීම හරහා රටේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලැබෙනු ඇතැයි රජය බලාපොරොත්තු වූවත්, එම අපේක්ෂාවන් මේ වන විට ඉටු වී නොමැති බවද හෙතෙම අවධාරණය කරයි. පෞද්ගලික සමාගම් හරහා නිසි පරිදි ඉන්ධන සැපයුම පවත්වාගෙන යාමට නොහැකි වීම තුළින් පෞද්ගලීකරණ ක්‍රියාවලියේ පවතින ගැටලු සහගත තත්ත්වය නැවත වරක් තහවුරු වී ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
