ඉරානයට අවි දෙන චීනයට 50%ක බද්දක් ගහනවා..- ට‍්‍රම්ප්

 


චීනය විසින් ඉරානයට ආයුධ සැපයීම දිගටම කරගෙන යන්නේ නම්, චීනයෙන් අමෙරිකාවට ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි 50% ක දැවැන්ත ආනයනික බද්දක් පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

ලෝක තෙල් සැපයුම සම්බන්ධයෙන් තීරණාත්මක හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින උණුසුම්කාරී තත්ත්වය සහ ඉරානය සමඟ ඇති කරගත් සති දෙකක තාවකාලික සටන් විරාමය මධ්‍යයේ ජනාධිපතිවරයා මෙම තීරණය නිවේදනය කළේය. "අමෙරිකාවට එරෙහි වන පාර්ශවයන් සන්නද්ධ කිරීම වහාම නතර කළ යුතුයි, එසේ නොමැති නම් දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් වන්න" යන සෘජු පණිවිඩය මෙහිදී චීනය වෙත යොමු කර ඇත.

ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම පියවර ඔහුගේ 'අමෙරිකාව ප්‍රථමයෙන්' යන විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් තහවුරු කිරීමක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මීට පෙර පැවති පාලන සමයන්හිදී ප්‍රතිවාදීන්ට ලබාදුන් සහන හේතුවෙන් අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවත්, චීනය සහ රුසියාව වැනි රටවල් ඉරානයට මිසයිල සහ ආරක්ෂක පද්ධති සැපයීම හරහා ගෝලීය නාවික ගමන් මාර්ග අනතුරේ හෙළන බවත් ධවල මන්දිරය අවධාරණය කරයි.

මෙම ආර්ථික බලපෑම් හමුවේ චීනය යම් පසුබැසීමක් පෙන්වනු ඇතැයි අනාවැකි පළ වේ. වෙළඳපොළ දත්තයන්ට අනුව, ලබන මස අවසානය වන විට ජනාධිපති ට්‍රම්ප් චීනයේ සංචාරයක නිරත වීමට 70% ක සම්භාවිතාවක් පවතින බව වාර්තා වේ. මින් ගම්‍ය වන්නේ අමෙරිකාව විසින් එල්ල කරන ලද මෙම බලපෑම හමුවේ බෙයිජිං පාලනය යම් රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවයක පසුවන බවයි.

මෙම බදු පැනවීම් හේතුවෙන් අමෙරිකානු පාරිභෝගිකයන්ට භාණ්ඩ මිල ඉහළ යාම හරහා යම් බලපෑමක් එල්ල විය හැකි බවට විවේචන එල්ල වුවද, ධවල මන්දිරය පවසන්නේ අසීමිත නිදහසක් භුක්ති විඳිමින් අමෙරිකානු අවශ්‍යතාවලට තර්ජනයක් වන රටවලට එරෙහිව මෙවැනි දැඩි තීන්දු ගැනීම අත්‍යවශ්‍ය බවයි.

"ශක්තිය තුළින් සාමයයන සංකල්පය මත පදනම්ව, අමෙරිකානු ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම වෙළඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ට්‍රම්ප් පරිපාලනය වැඩිදුරටත් සඳහන් කරයි.


Previous Post Next Post