ඉරානය සමඟ පැවැත්වීමට නියමිත සටන් විරාම සාකච්ඡා සඳහා පූර්වගාමීව අදහස් දක්වමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ ලොව ප්‍රමුඛතම නාවික ගමන් මාර්ගයක් වන 'හෝමුස් සමුද්‍ර සන්ධිය' ඉරානයේ සහය ඇතිව හෝ රහිතව විවෘත කිරීමට තමන් කටයුතු කරන බවයි.
පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡා සඳහා ඇමරිකානු නියෝජිත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් විසිනි. ඔහුට සුබ පතමින් අදහස් දැක්වූ ට්‍රම්ප්, ඉරානය මේ වන විට යුදමය වශයෙන් පරාජය වී ඇති බවත්, ඒ අනුව පර්සියානු බොක්ක ආශ්රිත නාවික කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බවත් සඳහන් කළේය.
මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවසීය.
"ඉරානයේ නාවික සහ ගුවන් හමුදාවන් මේ වන විට විනාශ වී අවසන්. ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති, නායකත්වය සහ මර්මස්ථාන සියල්ල අප අඩපණ කර තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය ස්වයංක්‍රීයවම විවෘත වනු ඇති. එය ඉතා ඉක්මනින් සිදුවීමට අප කටයුතු කරනවා."
පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක යා කරන මෙම මුහුදු සන්ධිය හරහා ගමන් ගන්නා නාවික යාත්‍රාවලින් කිසිදු ගාස්තුවක් අයකිරීමට ඉරානයට ඉඩ නොදෙන බවත්, එය ජාත්‍යන්තර මුහුදු සීමාවක් බවත් ඔහු අවධාරණය කළේය.
මෙම සාකච්ඡා සඳහා ඇමරිකාව වෙනුවෙන් උප ජනාධිපතිවරයා සමඟ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් සහභාගී වන අතර, ඉරාන පාර්ශවය නියෝජනය කරන්නේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ පාර්ලිමේන්තු කථානායක එම්.ඩී. ගාලිබාෆ් විසිනි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකා-ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය මෙම මුහුදු මාර්ගය අවහිර කිරීමට පියවර ගත්තේය. ලෝක බොරතෙල් සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම මාර්ගය අවහිර වීම ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
දින 14ක කාලයක් සඳහා ප්‍රකාශයට පත් කර ඇති වත්මන් සටන් විරාමය මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබේ. ඊශ්‍රායලය ලෙබනනය තුළ දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම ඊට හේතුවයි. කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ ස්ථාවරය වන්නේ සටන් විරාම ගිවිසුම ලෙබනනයට අදාළ නොවන බවයි.
සාකච්ඡා අසාර්ථක වුවහොත් ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව විමසූ විට ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානයේ නිෂ්පාදන ධාරිතාව සහ මිසයිල බලය බෙහෙවින් හීන වී ඇති බැවින් තමන්ට තවදුරටත් "විකල්ප සැලසුම්" අවශ්‍ය නොවන බවයි.

ඇරලා තිබුණ හෝමුස් වහන තැනට වැඩ කරලා දැන් ට්‍රම්ප් වීර ටෝක් දෙනවා යුද්ධ කරන්නේ හෝමුස් විවෘත කරන්න වගේ.
ReplyDelete