ඉරාන යුද්දය ලංකාව අසලට.. ආසන්න මුහුදේදී නැවු තුනක් ඇමරිකා අත්අඩංගුවට..

 


ඉන්දියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවල යාත්‍රා කරමින් තිබූ ඉරාන ධජය සහිත බොරතෙල් ප්‍රවාහන නෞකා අවම වශයෙන් තුනක්වත් අමෙරිකානු හමුදා භාරයට ගෙන ඇති බව නාවික සහ ආරක්ෂක අංශ ආරංචි මාර්ග තහවුරු කරයි.

අමෙරිකාව සහ ඉස්රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයට මාස දෙකක් සපිරෙන මොහොතක, අමෙරිකාව පනවා ඇති නාවික අවහිරතා (Blockade) දැඩි කරමින් මෙම මෙහෙයුම් දියත් කර තිබේ. මීට ප්‍රතිචාර ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ඉරානය ප්‍රහාර එල්ල කරමින් පවතින අතර, ලෝක තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් අඩපණ වීම හේතුවෙන් ගෝලීය බලශක්ති අර්බුදයක් ද නිර්මාණය වී ඇත.

නාවික දත්ත සහ රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි මෙලෙස අත්අඩංගුවට ගත් නෞකා අතර Deep Sea නම් මැලේසියානු වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ බොරතෙල් රැගත් දැවැන්ත නෞකාවක් හා Sevin නම් බැරල් මිලියනයක ධාරිතාවක් සහිත, 65% ක තොගයක් රැගෙන යමින් තිබූ නෞකාවක් වේ.

Dorena නම් බැරල් මිලියන 2 ක බොරතෙල් තොගයක් සහිතව ඉන්දියාවට දකුණු දෙසින් යාත්‍රා කරමින් තිබියදී අමෙරිකානු  අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව ඉන්දියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් තිබූ Derya නමැති නෞකාව ද අමෙරිකානු හමුදා භාරයට ගෙන ඇති බවට සැක කෙරේ.

අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) සඳහන් කරන්නේ නාවික අවහිරතා ආරම්භ කළ දින සිට මේ දක්වා නෞකා 29 කට ආපසු හැරී යන ලෙස හෝ වරායන් වෙත යන ලෙස නියෝග කර ඇති බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඉරානය පාවෙන බෝම්බ (Floating mines) යොදා තිබීමේ අවදානම හේතුවෙන්, අමෙරිකානු හමුදා විවෘත මුහුදේදී ඉරාන නෞකා ඉලක්ක කිරීමට පියවර ගෙන ඇත.

ඉරානය ද පසුගිය බදාදා ප්‍රහාර එල්ල කරමින් බහාලුම් නෞකා දෙකක් සිය භාරයට ගෙන ඇති අතර, මෙය යුද්ධය ආරම්භ වූ පසු ඉරානය සිදු කළ පළමු නෞකා අත්අඩංගුවට ගැනීම ලෙස වාර්තා වේ. පවතින තාවකාලික සටන් විරාමය හමුවේ වුවද සාම සාකච්ඡා නැවත ආරම්භ වීමේ සලකුණු මෙතෙක් දක්නට නොලැබෙන බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Previous Post Next Post