උතුරු කොරියාවෙන් දකුණු කොරියාව දෙසට මිසයිල ප‍්‍රහාර...


උතුරු කොරියාව විසින් ඉරිදා උදෑසන මුහුද දෙසට බැලැස්ටික් මිසයිල කිහිපයක් දියත් කළ බව ඇසෝසියේටඩ් ප්‍රෙස්
(AP) පුවත් සේවය වාර්තා කරයි. මෙය මේ වසර තුළ උතුරු කොරියාව සිදු කළ නවතම ආයුධ පරීක්ෂණ මාලාවේ දිගුවකි.

දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් ප්‍රකාශ කළේ මෙම මිසයිල දියත් කිරීම් උතුරු කොරියාවේ නැගෙනහිර සින්පෝ ප්‍රදේශයෙන් සිදුවී ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ දකුණු කොරියාව සිය නිරීක්ෂණ කටයුතු දැඩි කර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් සිටියි.

දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය පවසන්නේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ජපාන ආරක්ෂක අමාත්‍යාංශය ද මෙම දියත් කිරීම් තහවුරු කර ඇති අතර, එම මිසයිල උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පතිත වී ඇති බව විශ්වාස කෙරේ.

උතුරු කොරියාවේ ඕනෑම බැලැස්ටික් ක්‍රියාකාරකමක් තහනම් කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා උල්ලංඝනය කරමින් සිදුකළ මෙම ක්‍රියාව, කලාපීය සහ ජාත්‍යන්තර සාමයට තර්ජනයක් බව පවසමින් ජපානය පියොංයැං පාලනයට සිය දැඩි විරෝධය පළ කර ඇත.

පසුගිය සතියේ ද උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නෞකාවක සිට සිදු කළ මිසයිල පරීක්ෂණ නිරීක්ෂණය කරමින් ප්‍රකාශ කළේ, තම රජය න්‍යෂ්ටික බලවේගවල "සීමා රහිත ව්‍යාප්තිය" කෙරෙහි අවධානය යොමු කරන බවයි. එසේම රටේ න්‍යෂ්ටික ප්‍රහාරක සහ වේගවත් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් තියුණු කිරීම සඳහා ඔහු නව කාර්යයන් පවරා තිබේ.

මේ අතර ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි පෙන්වා දෙන්නේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික පහසුකම්වල ක්‍රියාකාරකම්වල "ශීඝ්‍ර වර්ධනයක්" දක්නට ලැබෙන බවයි.

උතුරු කොරියානු රජය විසින් නිකුත් කරන ලද ඡායාරූපවල කිම් ජොන් උන් මිසයිල පරීක්ෂණ නිරීක්ෂණය කරන අයුරු දැක්වෙන නමුත්, ස්වාධීන මාධ්‍යවේදීන්ට එම ස්ථාන වෙත ප්‍රවේශ වීමට අවසර ලබා දී නොමැත

Previous Post Next Post