කොළඹ මහා නගර සභාව නියෝජනය කරන ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකු විසින් විවිධ ව්‍යාපාරික ආයතනවලින් සහ වෙළෙඳුන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් හා කප්පම් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම මන්ත්‍රීවරයාගේ දූෂිත ක්‍රියාකලාපය පිළිබඳව පසුගියදා පැවැති සභා වාරයේදී තවත් මන්ත්‍රීවරයෙකු විසින් කරුණු අනාවරණය කරන ලදී. අදාළ මන්ත්‍රීවරයා අල්ලස් ඉල්ලා සිටින අවස්ථාවේ ලබාගත් හඬ පටයක් ද තමන් සතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
භූගත කේබල් එළීම සිදුකරන සමාගමක් වෙත ගොස්, අනවසර කේබල් සඳහා නිල අවසරය ලබාදෙන බව පවසමින් එම සමාගමෙන් විශාල මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ.
කොටහේන ප්‍රදේශයේ වෙළෙඳසල් තුනකින් රුපියල් 20,000 බැගින් කප්පම් ඉල්ලා ඇති අතර, කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි චීන වෙළෙඳසලකට ගොස් එහි අලෙවි කරන මස්වල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු මතු කරමින් මුදල් ඉල්ලා බිය ගන්වා ඇත.
ප්‍රමුඛ පෙළේ මෝටර් රථ සමාගමක හිමිකරුවෙකු හමුවීමට ද මොහු උත්සාහ කර ඇති බවත්, මස් අලෙවිසල්වලට එරෙහිව නීතිමය පියවර නොගන්නා බව පවසමින් එම වෙළෙඳුන්ගෙන් ද මුදල් ඉල්ලා ඇති බවත් වාර්තා වේ.
මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් නගර සභාවේ දැඩි අවධානය යොමුව ඇති අතර, අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ විධිමත් පරීක්ෂණයක් පවත්වන තෙක් සෙසු මන්ත්‍රීවරුන් විමසිල්ලෙන් පසුවෙති.
