හෝමූස් යළි විවෘත කිරීමට බාධා.. ඉරානයට තමන් ඇටවූ බෝම්බ තමන්ටම සොයාගන්න බැරිවේ..

 


මධ්‍යම පෙරදිග යුද ගැටුම් අතරතුර හෝමූස් සමුද්‍ර සන්ධියේ තැන්පත් කළ නාවික බෝම්බ (Naval Mines) සියල්ල පවතින ස්ථාන හඳුනා ගැනීමට සහ ඒවා ඉවත් කිරීමට ඇති නොහැකියාව හේතුවෙන්, එම මුහුදු මාර්ගය යළි විවෘත කිරීමේ අසීරුතාවකට ඉරානය මුහුණ දී සිටින බව ඇමෙරිකානු බලධාරීන් පවසයි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරන පරිදි, ඉරානය සතුව මෙම බෝම්බ ඉවත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තාක්ෂණික මෙවලම් නොමැති වීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව වී තිබේ.

පසුගිය මාසයේදී ඇමෙරිකාව සහ ඉස්රායලය එක්ව ඉරානයට එරෙහිව යුද ප්‍රහාර දියත් කිරීමත් සමඟ, ඉරානය කුඩා යාත්‍රා යොදාගනිමින් මෙම උපායමාර්ගික මුහුදු මාර්ගයේ බෝම්බ අතුරා තිබුණි.

එහෙත් එම මෙහෙයුම ඉතා අවිධිමත් හා මන්දගාමී වූ බව ඇමෙරිකානු බුද්ධි අංශ එකල පවා නිරීක්ෂණය කර තිබේ.

බෝම්බ තැන්පත් කිරීම කිසිදු විධිමත් සැලැස්මකට අනුව සිදු නොවූ හෙයින්, ඒවා පවතින නිශ්චිත ස්ථාන පිළිබඳ වාර්තා ඉරානය සතුව පවා නොමැති බව පැවසේ.

එසේම මුහුදු රළ පහර හේතුවෙන් මෙම බෝම්බ ස්ථානයෙන් බැහැරට ගසාගෙන යාම නිසා ඒවා සොයාගැනීම තවදුරටත් සංකීර්ණ වී ඇත.

මාර්තු 2 වන දින ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් සමුද්‍ර සන්ධිය වසා දැමූ බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගිය අතර නෞකා ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. ගැටුම් පවතින කාලය තුළ මෙම තත්ත්වය ඉරානයට දේශපාලනික වාසියක් වුවද, යුද්ධය අවසානයේ සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේදී එම උපක්‍රමයම දැන් ඔවුන්ට පාරාවළල්ලක් වී තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ සති දෙකක තාවකාලික සටන් විරාමයකට එකඟ විය හැක්කේ හෝමූස් සමුද්‍ර සන්ධිය "සම්පූර්ණයෙන්ම සහ ආරක්ෂිතව" විවෘත කරන්නේ නම් පමණක් බවයි.

මේ අතර, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇත්තේ "තාක්ෂණික සීමාවන් සැලකිල්ලට ගනිමින්" සමුද්‍ර සන්ධිය විවෘත කරන බවයි. මෙය බෝම්බ ඉවත් කිරීමේ අපහසුතාව පිළිගැනීමක් බව දේශපාලන විචාරකයෝ පවසති.

අද දින ඉස්ලාමාබාද් නුවරදී ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අතර පැවැත්වෙන සාම සාකච්ඡාවලදී මෙම බෝම්බ ඉවත් කිරීමේ අර්බුදය ප්‍රධාන මාතෘකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බෝම්බ තැන්පත් කිරීමට වඩා ඒවා ඉවත් කිරීම අතිශය සංකීර්ණ කාර්යයක් වන අතර, දියුණු තාක්ෂණය සහිත ඇමෙරිකානු නාවික හමුදාවට පවා එය අභියෝගාත්මක මෙහෙයුමකි.

Previous Post Next Post