ඉරානය වටා ඇමරිකා හමුදා රදවයි.. ට‍්‍රම්ප් අනතුරු අගවයි...


ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි පූර්ණ වශයෙන් ඉටු කරන තෙක් කලාපයේ රැඳී සිටින සියලුම ඇමරිකානු නෞකා
, ගුවන් යානා සහ හමුදා භට පිරිස් ඉවත් නොකරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ දෙපාර්ශ්වය එකඟ වූ සම්මුතීන් නිසි ලෙස ක්‍රියාත්මක වන තෙක් අමෙරිකානු හමුදා සීරුවෙන් තබන බවයි.

එසේ නොමැති වුවහොත් කලාපය තුළ යළිත් දරුණු ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීය.

මේ අතර, පසුගිය බදාදා දිනය තුළ ඊශ්‍රායලය එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 254 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 1,165 කට අධික පිරිසක් තුවාල ලැබීමත් සමඟ ලෙබනනය පුරා ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.

ලෙබනන් අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් සඳහන් කළේ ඊශ්‍රායලයේ මෙම "මනුෂ්‍ය ඝාතන යන්ත්‍රය" වහාම නතර කිරීම සඳහා රටේ සියලු දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ශක්තිය බලමුලු ගන්වමින් සිටින බවයි.

කෙසේ වෙතත්, අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමට ලෙබනනය ඇතුළත් නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේය. අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ද එම අදහස තහවුරු කරමින් කියා සිටියේ ලෙබනනය සම්බන්ධයෙන් එවැනි පොරොන්දුවක් තමන් කිසිවිටෙකත් ලබා නොදුන් බවයි.

මෙම තත්ත්වය හමුවේ අදහස් දැක්වූ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) අවධාරණය කළේ ලෙබනනය සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඉරානය අතර එකඟතාවන් ඉතා පැහැදිලි බවයි. වොෂින්ටනය විසින් සටන් විරාමය හෝ ඊශ්‍රායලය හරහා ගෙන යන යුද්ධය යන දෙකෙන් එකක් තෝරාගත යුතු බවත්, එම තේරීම් දෙකම එකවර පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු පැවසීය.

ප්‍රහාර හමුවේ ලෙබනනයේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයකට ලක්ව ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍ය රකාන් නසිරුදීන් පෙන්වා දෙයි. විශාල වශයෙන් තුවාල ලබන සිවිල් වැසියන්ට ප්‍රතිකාර කිරීම සඳහා වහාම ජාත්‍යන්තර ආධාර ලබාදෙන ලෙස ඔහු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

Previous Post Next Post