ඇමරිකානු නාවික හමුදාව විසින් පනවා ඇති නාවික අවහිර කිරීම් උල්ලංඝනය කරමින් ඉරානය දෙසට ගමන් කිරීමට උත්සාහ කළ Tosa නමැති ඉරාන බහාලුම් නෞකාවකට ඇමරිකානු ප්‍රහාරක නෞකාවකින් වෙඩි ප්‍රහාර එල්ල කර එය අඩපණ කර ඇති බව වාර්තා වේ.
2026 අප්‍රේල් 19 වන දින උතුරු අරාබි මුහුදේදී මෙම සිදුවීම වාර්තා වූ අතර, මේ වන විට නෞකාව ඇමරිකානු හමුදා භාරයේ පවතී.
ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිකුත් කළ නිවේදනයකට අනුව, 'USS Spruance' (DDG-111) නමැති මඟ පෙන්වන මිසයිල නාශක නෞකාව විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
ඉරානයේ බන්ඩර් අබ්බාස් වරාය දෙසට යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව නතර කරන ලෙසට පැය හයක පමණ කාලයක් පුරා අවස්ථා කිහිපයකදීම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එහෙත් එම අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන්, නෞකාවේ එන්ජින් කාමරයට වෙඩි ප්‍රහාර එල්ල කර එහි ගමනාගමන හැකියාව අඩපණ කිරීමට ඇමරිකානු හමුදාව පියවර ගෙන ඇත.
මෙම ප්‍රහාරය සඳහා 'USS Spruance' නෞකාවේ ඇති අඟල් 5 මාර්ක් 45 වර්ගයේ කාලතුවක්කුව භාවිතා කර ඇති අතර, නෞකාව අඩපණ වූ පසු ඇමරිකානු මැරීන් බලකායේ (31st Marine Expeditionary Unit) සෙබළුන් නෞකාවට ඇතුළු වී එහි පාලනය සියතට ගෙන තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, අඩි 900ක් පමණ දිගැති මෙම විශාල නෞකාව ඇමරිකානු නාවික අවහිර කිරීම් මඟහැර යාමට උත්සාහ කළ බවත්, දැන් එය පූර්ණ වශයෙන් ඇමරිකානු භාරයේ පවතින බවත්ය.
මෙම නෞකාව මීට පෙරද විවිධ නීතිවිරෝධී ක්‍රියා හේතුවෙන් ඇමරිකානු භාණ්ඩාගාරයේ සම්බාධකවලට යටත් වූවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය සිකුරාදා දින හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරාන හිතවාදී පාර්ශවයන් විසින් වාණිජ නෞකාවලට එල්ල කරන ලද ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගත් බවට විශ්ලේෂකයෝ මත පළ කරති. නෞකාව තුළ නීතිවිරෝධී ද්‍රව්‍ය පවතින්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා එය කිසියම් වරායක් වෙත රැගෙන යාමට නියමිතව ඇති අතර, නෞකාවට සිදුව ඇති හානිය හේතුවෙන් එය ඇදගෙන යාමට සිදුවනු ඇතැයි වාර්තා වේ.
මෙම සිදුවීමත් සමඟ කලාපයේ පවතින යුදමය උණුසුම තවදුරටත් වර්ධනය වී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ ඉරානයේ ප්‍රතිචාරය කෙබඳු වේදැයි ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
