කෙහෙළිය සමයේ බාල බෙහෙත්වලින් කිසිවෙකු මිය ගියේ යයි තහවුරු නොවෙයි...


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී මෙරටට ප්‍රමිතියෙන් තොර ඇස් බෙහෙත් ඇතුළු බාල ඖෂධ ගෙන්වූ සමාගම්වලට එරෙහිව නීතිපතිවරයා හරහා නඩු පවරා අදාළ දඩ මුදල් අය කර ගැනීමට වර්තමාන රජය මෙතෙක් කටයුතු කර නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි
.

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, මෙම බාල ඖෂධ භාවිතය හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ රෝගීන්ගෙන් කොටසකට පමණක් වන්දි ලබා දී ඇති අතර තවත් පිරිසකට මෙතෙක් වන්දි ලැබී නොමැති බවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාලසීමාව තුළ මෙරටට ගෙන්වන ලද ප්‍රශ්න සහගත ඖෂධ භාවිතය නිසා රෝගීන් මියගිය බවට සැකයක් පවතින බවත්, එම තොරතුරු සනාථ කිරීමට වර්තමාන සෞඛ්‍ය පරිපාලනය මෙතෙක් කිසිදු විධිමත් පියවරක් ගෙන නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී තීන්දු කළ බව සිහිපත් කළ විශේෂඥ වෛද්‍යවරයා, දැනට අධිකරණය හමුවේ පවතින නඩු සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය:

"හිටපු අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට එරෙහිව දැනට පවතින නඩු සියල්ල සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි මත විභාග වන ඒවා මිස, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවරන ලද නඩු නොවේ. ප්‍රශ්න සහගත ඖෂධ ගෙන්වූ සමාගම්වලින් වන්දි අය කර ගැනීමට රජය පියවර නොගැනීම කණගාටුදායකයි."

ප්‍රශ්න සහගත ඖෂධ ආනයනය කළ සමාගම් 20කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳව විගණකාධිපතිවරයා ඉතා පැහැදිලිව වාර්තා කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙවැනි පසුබිමක් තුළ රජය අනුගමනය කරන නිහඬ ප්‍රතිපත්තිය හේතුවෙන්, බාල ගල් අඟුරු ගෙන්වූ සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට රජය කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

1 Comments

  1. ඒ උනාට කෙහෙලිය පොහොට්ටුවේ රාජපක්ස වාදියෙක් නිසා හිරේ යන්න ඕන. බාල ගල් අඟුරු වලින් බිලියන ගානක් හොරකම් කරලා රටටම හෙණ ගස්සපු කුමාරයා ලපවාදියෙක් හින්දා නිර්දෝෂයි.

    ReplyDelete
Previous Post Next Post