පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසම ප‍්‍රශ්ණ කරයි...


පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ නීතිඥ චමින්ද කුලරත්න මහතාගෙන්
, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (21) දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම්දීමකට අනුව එහි ගිය ඒ මහතාව පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමට ලක්ව ඇත.

කුලරත්න මහතාගේ පත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය සටහන් කරගත් බව කොමිසම සඳහන් කරයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පත් කළ කමිටු වාර්තාවක් පදනම් කරගනිමින් මොහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනුණි.

තම වැඩ තහනම් කිරීමට ගත් තීරණයට එරෙහිව කුලරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති අතර , තමා ඉලක්ක කර ගනිමින් සිදුකළ මූලික පරීක්ෂණ පරිපාලන රීති සහ නීතිය උල්ලංඝනය කිරීමක් බව ඔහු එහිදී පෙන්වා දී ඇත.

මේ අතර, තමන්ට එරෙහිව ක්‍රියා කළ කථානායකවරයාට එරෙහිවද චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශන ආරම්භ වී ඇත.


Previous Post Next Post