විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (19) පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේ, 2026 මාර්තු මාසය සඳහා යාවත්කාලීන කරන ලද දත්ත අනුව ජාතික මට්ටමේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 16,690ක් ලෙස සටහන් වන බවයි.
මෙම අගය ගණනය කර ඇත්තේ ජාතික පාරිභෝගික මිල දර්ශකය පදනම් කර ගනිමින් වන අතර, එයින් පුද්ගලයෙකුට අවම මූලික පහසුකම් සහිතව ජීවත් වීමට අවශ්‍ය වන වියදම නිරූපණය කෙරේ.
විශේෂයෙන්ම, පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වන අවම පෝෂණ අවශ්‍යතාවය වන කිලෝ කැලරි 2013ක ප්‍රමාණය සපුරා ගැනීමට සහ අනෙකුත් අත්‍යාවශ්‍ය මූලික අවශ්‍යතා පියවා ගැනීමට යන ඇස්තමේන්තුගත වියදම මෙයට ඇතුළත් වේ.
දිස්ත්‍රික් මට්ටමින් මෙම අගයන්හි යම් යම් වෙනස්කම් පවතින බවත්, කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකු සඳහා එම අගය රුපියල් 18,100ක් පමණ වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
යම් පුද්ගලයෙකු ජීවත් වන දිස්ත්‍රික්කයට අදාළ මෙම දරිද්‍රතා අගයට වඩා ඔහුගේ මාසික වියදම අඩු මට්ටමක පවතී නම්, එම පුද්ගලයා දුප්පත් පුද්ගලයෙකු ලෙස සලකන බවද හෙතෙම පැහැදිලි කළේය.
එමෙන්ම, හතර දෙනෙකුගෙන් යුත් පවුලකට අවම මූලික පහසුකම් සහිතව ජීවත් වීම සඳහා මසකට අවශ්‍ය වන අවම වියදම රුපියල් 66,760ක් වන බවත්, එය දිස්ත්‍රික්ක අනුව රුපියල් 63,832 සිට රුපියල් 72,000 (කොළඹ) දක්වා පරාසයක පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය
