විදුලි ගාස්තු වැඩි කිරීමෙන් ෆොටෝකොපි මිල ඉහල දමයි.. ඒකක 200ට අඩු අය කියා වෙනසක් නෑ..


 විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් සන්නිවේදන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ පිරිවැය ඉහළ ගොස් ඇති බැවින්, සිය සේවා ගාස්තු ඉහළ නැංවීමට සිදුව ඇති බව සමස්ත ලංකා සන්නිවේදන හිමිකරුවන්ගේ සංගමය නිවේදනය කරයි.

එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ, මීට පෙර අවස්ථාවලදී විදුලි ගාස්තු ඉහළ දැමුණද සන්නිවේදන මධ්‍යස්ථාන හිමිකරුවන් සිය පාරිභෝගිකයන් වෙනුවෙන් සේවා ගාස්තු ඉහළ නොදැමූ බවයි. 

එහෙත් වත්මන් තත්ත්වය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ අසීරුව මත, එක් ෆොටෝකොපියක මිල රුපියල් 2ත් 5ත් අතර මුදලකින් ඉහළ නැංවීමට තීරණය කළ බව ඔහු සඳහන් කළේය.

විදුලි බල මණ්ඩලය තුළ පවතින දූෂිත ක්‍රියා හේතුවෙන් විදුලි ගාස්තු ඉහළ යන බවට බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළද, තවදුරටත් මෙලෙස ගාස්තු ඉහළ දැමීම ගැටලු සහගත බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

විදුලි ගාස්තුවලට අමතරව කඩදාසි සහ ටෝනර් ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබීම මෙම තීරණය ගැනීමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත. 

මෙම මිල ඉහළ දැමීම පාරිභෝගිකයාට අමතර බරක් වන බැවින් තමන් මෙම තීරණය ගත්තේ දැඩි කනගාටුවෙන් යුතුව බව ද සමස්ත ලංකා සන්නිවේදන හිමිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

Previous Post Next Post