මීට වසර 11කට පෙර, එනම් 2015 වසරේදී බාලවයස්කාර පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ දහම් පාසල් ගුරුවරයෙකුට මොනරාගල මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ ලක්ෂ ගණනක වන්දි නියම කර තිබේ.
මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලින්ද හේවා වසම් මහතා විසින් පසුගිය 30 වනදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව චෝදනා දෙකකට වරදකරු කරමින් එක් චෝදනාවකට වසර 12 බැගින් වසර 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය. මෙම දඬුවම වසර 12කින් ගෙවී යන ලෙස ක්‍රියාත්මක වනු ඇත.
එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කෙරුණු අතර, එය නොගෙවන්නේ නම් වසරක ලිහිල් සිරදඬුවමක් නියම විය.
අතවරයට පත් දරුවාට එක් චෝදනාවකට රුපියල් ලක්ෂ 5 බැගින් රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවීමට නියෝග කෙරුණි. වන්දි නොගෙවන්නේ නම් වසර තුනක ලිහිල් සිරදඬුවම් නියම කර ඇත.
මලෙස දඬුවම් නියම වූයේ ඇතිමලේ 70 හංදිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ඌරුමුත්තගමගේ චන්දන නමැති අයෙකුටය. 2015 වසරේදී ඔහු විසින් එකම ප්‍රදේශයේ පදිංචිව සිටි එවකට බාලවයස්කාර දරුවෙකු (දැනට 16 හැවිරිදි) බයිසිකලයක නංවාගෙන වැව් ප්‍රදේශයක් ආසන්නයේ කැලෑවකට කැඳවාගෙන ගොස් මෙම අපරාධය සිදුකර තිබුණි.
