මහ බැංකුවේ ස්වාධීනත්වය යැයි කියාගන්නා තත්ත්වයක් තුළ ගනු ලබන තීරණ හේතුවෙන් රජය සහ මෙරට මහජනතාව දැඩි ආර්ථික පීඩනයකට පත්ව ඇති බව හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි.
ඩොලරයේ අගය කෙටි කාලයක් තුළ රුපියල් 350 සිට 330 දක්වා සීඝ්‍රයෙන් ඉහළ පහළ යාම හේතුවෙන් මෙරට ආනයන අපනයන වෙළඳාම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි., විශේෂයෙන් රුපියල් 345 - 350 මට්ටමේදී ඩොලර් ලබාගත් ආනයනකරුවන්ට, එහි අගය 330 දක්වා අඩු වන විට එම පාඩුව දරා ගැනීමට සිදුවන බවත්, මෙය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට දරාගත නොහැකි තත්ත්වයක් බවත් ඔහු අවධාරණය කරයි.
පොලී අනුපාත සියයට එකකින් (1%) වැඩි කිරීමේදී රජය ගෙවිය යුතු ණය ප්‍රමාණය අවම වශයෙන් රුපියල් බිලියන 220 කින් සහ උපරිම වශයෙන් බිලියන 330 කින් ඉහළ යන බව කරුණානායක මහතා සඳහන් කරයි. මහ බැංකුව පොලී අනුපාත හිතුමතයට වැඩි කළද, අවසානයේ එම ණය වාරික ගෙවීමට සිදුවන්නේ රජයට සහ අහිංසක මහජනතාවට බව ඔහු පවසයි.
දැනට පවතින උද්ධමනය ඉල්ලුම මත පදනම් වූවක් නොව පිරිවැය මත පදනම් වූවක් බවත්, එවැනි තත්ත්වයක් තුළ පොලී අනුපාත වැඩි කිරීමෙන් ආර්ථිකය තවදුරටත් සංකෝචනය වීම පමණක් සිදුවන බවත් හිටපු මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මහ බැංකුවේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව විමර්ශනය කිරීමට සහ එහි වගවීම සහ වගකීම තහවුරු කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සනින් තමා ඉල්ලීමක් කර ඇති බවද ඔහු අනාවරණය කළේය., ජපානය, ඉන්දියාව සහ මලයාසියාව වැනි රටවල මහ බැංකු කටයුතු කරන ආකාරය ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවද වගකීමෙන් කටයුතු කළ යුතු බව ඔහුගේ අදහසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කරුණානායක මහතා අනාවැකි පළ කරයි.
මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 700 ලබා ගැනීම වෙනුවෙන් විදුලි බිල, ඉන්ධන මිල සහ පොලී අනුපාත වැඩි කිරීමෙන් ජනතාව මත විශාල බරක් පටවා ඇති බවත්, එම මුදල් ලැබුණු පසු ජනතාවට ඉන් සැලසෙන සහනය කුමක්දැයි රජය පෙන්වා දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
