මෝටර් වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ ටෙන්ඩරයේ හටගත් ගැටලුවක් හේතුවෙන් පසුගිය වසරේ මැයි 16 වැනිදා සිට එම කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි.
වසරක පමණ කාලයක් තිස්සේ මුද්‍රණ කටයුතු මෙලෙස නතර වී තිබීම නිසා වර්තමානය වන විට නිකුත් කිරීමට ඇති වාහන අංක තහඩු සංඛ්‍යාව ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් දක්වා ගොඩගැසී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අනාවරණය කළේය.
මෙම එකතු වී ඇති තහඩු තොගය අතරට කාර්, වෑන්, බස් සහ ත්‍රිරෝද රථ ඇතුළු වාහන රැසක් අයත් වන අතර, ඉන් යතුරුපැදි සඳහා වන අංක තහඩු පමණක් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් පවතින බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම අර්බුදයට විසඳුම් දෙමින් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව පසුගිය මාර්තු 10 වැනිදා සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම සමඟ නව ගිවිසුමකට එළඹ තිබේ.
අංක තහඩු මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය හිමි වූ එම සමාගම මේ වන විට මුද්‍රණ කටයුතුවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සවිකර අවසන් කර ඇති බැවින්, මෙම මැයි මාසය අවසන් වීමට පෙර නැවත මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව, ප්‍රථමයෙන්ම පසුගිය වසරේ මාර්තු මාසයේදී ලියාපදිංචි කරන ලද වාහනවල අංක තහඩු මුද්‍රණය කිරීමට සැලසුම් කර ඇති අතර, ඊට සමගාමීව එක්දින සේවාව යටතේ ලියාපදිංචි කෙරෙන නව වාහන සඳහා වන අංක තහඩු මුද්‍රණය ද කඩිනමින් අරඹන බව එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
