ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉතිහාසයේ මෙතෙක් ඉදි කරනු ලබන දුෂ්කරම සහ අභියෝගාත්මකම මාර්ග කොටස ලෙස සැලකෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම් මෙරට ඉංජිනේරුවන්ට මුහුණ දීමට සිදුවන අසීරුම භූමිය සහිත ව්‍යාපෘතිය බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
කිලෝමීටර් 18.7ක දිගින් යුත් මෙම මාර්ග කොටසෙහි කිලෝමීටර් 3.9ක් හෙවත් දළ වශයෙන් කිලෝමීටර් 4ක් පමණ ප්‍රමාණයක් දිවෙන්නේ උමං මාර්ග ඔස්සේය. මීට අමතරව, මෙම කෙටි දුර ප්‍රමාණය තුළ පාලම් 16ක් සහ බෝක්කු 46ක් ඉදිකිරීමට නියමිතව තිබීම මෙහි ඇති තාක්ෂණික බැරෑරුම්කම මැනවින් විදහා දක්වන බවත් ඔහු පැවසීය.
මෙම ව්‍යාපෘතියේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එය සම්පූර්ණයෙන්ම දේශීය මුදල් සහ දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ දායකත්වයෙන් සිදු කිරීමයි. රුපියල් බිලියන 112.4ක දැවැන්ත පිරිවැයක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් හය දෙනෙකු සම්බන්ධ වී සිටිති. මාර්ග සංවර්ධන අධිකාරිය මෙහි සේවා යෝජකයා ලෙස කටයුතු කරයි.
2025 මැයි මස 29 වන දින නිල වශයෙන් වැඩ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය වසර කිහිපයක් ඇතුළත අවසන් කිරීමට රජය ඉලක්ක කර ඇත.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2029 මැයි මස 28 වන දින වන විට මෙහි වැඩකටයුතු නිම කර ජනතා අයිතියට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ අනෙකුත් කොටස් පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, කිලෝමීටර් 41ක් දිගැති කඩවත - මීරිගම කොටස 2028 වසරේදී අවසන් කිරීමට නියමිත බවත්, කිලෝමීටර් 13.8ක දුරකින් යුත් පොතුහැර - රඹුක්කන කොටස ලබන වසරේදී අවසන් කර ජනතා අයිතියට පත් කළ හැකි බවත් ප්‍රකාශ කළේය.
