ඖෂධ හිගයක්..


 රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් උද්ගතව ඇති ආර්ථික උද්ධමනය හමුවේ, බාහිර ඖෂධ සැපයුම්කරුවන් සිය සැපයුම් කටයුතු නිසි පරිදි සිදු නොකිරීම නිසා පෞද්ගලික ඔසුහල්වල පවා අත්‍යවශ්‍ය ඖෂධ රැසක දැඩි හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ රෝගාබාධ සඳහා භාවිත කරන ඖෂධ මෙලෙස වෙළඳපොළේ හිඟ වීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් පිළිකා, වකුගඩු සහ අක්මා රෝගීන් මෙන්ම ශල්‍යකර්ම සඳහා බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් ද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

තවද, බෝ නොවන රෝග සඳහා දීර්ඝකාලීන ප්‍රතිකාර ලබන රෝගීන්ට ද අවශ්‍ය ඖෂධ සපයා ගැනීම මේ වන විට ගැටලුවක් වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

පවතින ඖෂධ හිඟය සඳහා ඩොලරයට සාපේක්ෂව රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීම, ඖෂධ සඳහා නියම කර ඇති පාලන මිලට මෙරටට ඖෂධ ආනයනය කිරීමට සැපයුම්කරුවන් අකමැති වීම, ඇතැම් ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් බලපා ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි:

පවතින තත්ත්වය මත ඇතැම් රෝගීන්ට සිය ඖෂධ විදේශ රටවලින් පෞද්ගලිකව ගෙන්වා ගැනීමට සිදුව ඇති අතර, ඒ සඳහා මූල්‍ය පහසුකම් නොමැති අසරණ රෝගීන් මරණාසන්න තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන් කඩිනමින් මැදිහත් වී විසඳුම් ලබා නොදුනහොත්, මෙරට රෝගී සත්කාරක සේවාවන් සම්පූර්ණයෙන්ම බිඳ වැටිය හැකි බවට ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.

Previous Post Next Post