ගෝලීය බලශක්ති සැපයුමේ තීරණාත්මක කේන්ද්‍රස්ථානයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා (Fujairah) තෙල් කර්මාන්ත කලාපයට අද (04) එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් ගින්නක් හටගෙන ඇති බව එරට බලධාරීහු නිවේදනය කරති.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ පවසන්නේ ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවකට තමන් මේ වන විට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.
ෆුජයිරා මාධ්‍ය ඒකකය සඳහන් කළේ හටගෙන ඇති මහා පරිමාණ ගින්න පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක කණ්ඩායම් වහාම එම ස්ථානයට යොමු කර ඇති බවයි.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක නෞකාවකට (Frigate) මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බව ඉරාන රජයේ මාධ්‍ය උපුටා දක්වමින් එරට හමුදාව ප්‍රකාශ කළේය. ඉරාන නාවික හමුදාව ලබාදුන් අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව ඔවුන් පවසන නමුත්, ඇමෙරිකානු හමුදාව එම ප්‍රහාරය එල්ල වූ බව ප්‍රතික්ෂේප කර ඇත.
මේ වන විට ඩුබායි නගරයට උතුරින් මුහුදේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක එන්ජින් කාමරයේ ද ගින්නක් හටගෙන ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් ඒකකය වාර්තා කරයි.
ඉරාන විදේශ අමාත්‍ය අරග්චි මහතා එරට පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය සඳහා නව යාන්ත්‍රණයක් සකස් කරමින් පවතින බවයි.
"සමුද්‍ර සන්ධිය මින් ඉදිරියට පෙර පැවති තත්ත්වයට පත් නොවන බවත්, සතුරු නෞකාවලට මෙහි ගමන් කිරීමට ඉඩ නොදෙන බවත්" ඔහු අවධාරණය කළේය.
කලාපයේ පවතින තර්ජන හමුවේ නෞකා ආරක්ෂිතව මෙහෙයවීම සඳහා 1980 දශකයේ අනුගමනය කළ ආරක්ෂක ක්‍රමවේදයක් (Project Freedom) ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකාව සූදානම් වේ.
හිටපු ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙනරාල් මාර්ක් කිමිට් මහතා අල්-ජසීරා පුවත් සේවයට පවසා සිටියේ, රක්ෂණ සමාගම්වල පවතින පීඩනය හමුවේ ඇමෙරිකානු නාවික හමුදාව විසින් වෙළඳ නෞකාවලට ආරක්ෂක වළල්ලක් සපයමින් සමුද්‍ර සන්ධිය හරහා කැඳවාගෙන යාමට සිදුවනු ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශය අතිශය භයානක යුද කලාපයක් බවට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
