පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
අපේ සුප්‍රකට කලා කලාකරුවෙක් වෙන සංගීත් විජේසූරිය මැතිතුමා අනුර දිසානායක ජනාධිපතිතුමා ජයග්‍රහණය කළොත්, තමන්ගේ එංගලන්තයේ ඉන්න මිත්‍රයා නිශාන්ත වීරසිංහ ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරනවා කියලා කියනවා මුළු රටම දැක්කා.
සංගීත් විජේසූරිය මහත්තයා බොරුකාරයෙක් නෙවෙයි. එයා මොකද කළේ? මාලිමා ආණ්ඩුව ආපු ගමන් එක ඩොලර් මිලියනයක් වෙනුවට ඩොලර් මිලියන 23 ක්ම අරගෙන එයාගේ එංගලන්ත යාළුවා නිශාන්ත වීරසිංහත් එක්ක ඇවිල්ලා ජනාධිපතිතුමාව හමුවුණා. ජනාධිපතිතුමා ඔය වැඩේ කතා කරගන්න කියලා මුදල් ඇමති කියලා කවුදෝ අද්භූත පුද්ගලයෙක්ව හඳුන්වලා දීලා.
මේ අද්භූත පුද්ගලයා සංගීත් විජේසූරිය මහත්තයාට කියනවා, මොකක්ද අද්භූත පුද්ගලයා නෙවෙයි කවුද, අද්භූත මුදල් ඇමති, සංගීත් විජේසූරිය මහත්තයාට කියනවා, මේ IMF ගිවිසුම නිසා ඩොලර් පරිත්‍යාග බාරගන්න බෑ කියලා.
මේකේ ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. පළවෙනිම ප්‍රශ්නය, ජනාධිපතිතුමා මුදල් ඇමති කියලා නන්නාඳුනන වෙනත් පුද්ගලයෙක් හඳුන්වා දුන්නේ ඇයි? ගැසට් මගින් ප්‍රසිද්ධ කර තියෙන ආකාරයට අපේ රටේ මුදල් අමාත්‍ය ධූරය දරන්නේ අනුර දිසානායක ජනාධිපතිතුමා. එතුමා එතුමා මුදල් ඇමති ධූරයේ සිටිමින් වෙනත් පුද්ගලයෙක්ව මුදල් ඇමති ලෙස තමන්ගේ පක්ෂයේ සහෝදරයෙක් වෙන සංගීත් විජේසූරිය සහෝදරයාට හඳුන්වා දුන්නේ ඇයි? අලුතින් මුදල් ඇමති කෙනෙක් පත් කරලද? පත් කරලා නම් එයාවගේ නම ගැසට් මගින් ප්‍රසිද්ධ නොකළේ ඇයි? ඒ විතරක් නෙවෙයි, එහෙම නැත්නම් ජනාධිපතිතුමා තවමත් මුදල් ඇමති ධූරය දරන අතරේ වෙනත් කෙනෙක්ව මුදල් ඇමති විදිහට පෙන්නුවද?
පරණ කතාවක් තියෙනවා, ඔය තඹුත්තේගම පැත්තේ හිටියාලු අගුරු කුමාර කියලා ජයිපෙ තරුණයෙක්. 87-89 භීෂණ කාලේ, දවසක් ගමට හමුදාවෙන් පැනලා කවුද අගුරු කුමාර කියන්නේ කියලා ඇහුවාම, වෙන කෙනෙක්ව අන්න අරයා තමයි අගුරු කුමාර කියන්නේ කියලා පෙන්නලා එයා පැනගත්තාලු. අන්න අගුරු කුමාර හමුදාවට වෙනත් කෙනෙක් පෙන්නපු විදිහටම ජනාධිපතිතුමා තමන් මුදල් ඇමති ධූරයේ සිටිමින් සංගීත් සහෝදරයාට වෙන කෙනෙක්ව පෙන්නුවාද? මේවා ඉතින් සෑහෙන්න හිතන්න ඕනි, මොළේ කරගැට මතුවෙන ප්‍රශ්න.
හැබැයි, ජනාධිපතිතුමා මුදල් ඇමති කියලා පෙන්නපු මේ අද්භූත පුද්ගලයා, අද්භූත මුදල් ඇමතිවරයා කවුදැයි කියලා හොයාගෙන ඔහුට දඬුවම් කිරීම අත්‍යවශ්‍යයි. මොකද ඔහු මේ රටට දැවැන්ත අපරාධයක් කරලා තිබෙන නිසා, ඔහු දේශද්‍රෝහියෙක් නිසා. ඇයි අපි එහෙම කියන්නේ? මේ අද්භූත මුදල් ඇමතිවරයා IMF ගිවිසුම අනුව ඩොලර් පරිත්‍යාග බාරගන්න බෑ කියමින් රටට ගෙනාපු, අපේ සංගීත් විජේසූරිය කලාකරුවාණන් රටට ගෙනාපු ඩොලර් මිලියන 23 ක පරිත්‍යාගයක් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා.
එතකොට ඇත්තෙන්ම මේ IMF ගිවිසුම කීප වතාවක් සම්පූර්ණයෙන්ම කියවපු පුද්ගලයෙක් විදිහට, මම ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා, විදේශීය පරිත්‍යාග බාරගැනීමට ගැනීමට තහනම් කරන කිසිම වගන්තියක් IMF ගිවිසුමේ නෑ. එහෙම තිබුණා නම් දිට්වා කාලේ අපි ලෝකය පුරා විවිධ රටවලින්, විවිධ සංවිධාන වලින් ආධාර බාරගත්තේ කොහොමද?
අපි දන්නේ ඉතින් ඔය සංගීත් විජේසූරිය මහත්තයා කියන ඩොලර් මිලියන 23 ප්‍රතික්ෂේප කිරීමේ කතාව විතරයි. මේ අද්භූත මුදල් ඇමතිවරයා තව කොච්චර නම් ඩොලර් සම්භාරයක් මෙහෙම රට ඇතුළට එන එක නතර කරලා ඇද්ද? ඇත්තම කියනවා නම් වර්තමානයේ පවතින මේ ඩොලර් අර්බුදයට වගකිව යුත්තේ වෙන කවුරුත් නෙවෙයි, මේ අද්භූත මුදල් ඇමතිවරයා. මොකද ඒ ලංකාවට ඇවිත් ඔය අද්භූත මුදල් ඇමතිවරයා ප්‍රතික්ෂේප කරපු ඩොලර් ටික ඇත්තටම බාරගත්තා නම් ඩොලරය මේ ආකාරයෙන් ඉහළ යන එක වළක්වා ගන්න අපට තිබුණා.
ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා ලෙස සංගීත් විජේසූරිය මහත්මයාට හඳුන්වලා දුන්න ඒ අද්භූත පුද්ගලයා වහාම සොයාගෙන මේ රටට කරපු අපරාධයට දඬුවම් කළ යුතුයි. වහාම ඔහුට දඬුවම් කළේ නැතිනම් ළඟදීම සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කියනවා, "මගේ කැනඩාවේ මිත්‍රයාවත් මම ඔය මුදල් ඇමතිට හඳුන්වලා දුන්නා, IMF ගිවිසුම පෙන්නලා බෑ කිව්ව හින්දයි ඩොලර් මිලියනය ගේන්න බැරි වුණේ" කියලා.
එතකොට අපේ බිංදුපුර වැසියා ටිල්වින් සිල්වා මහලේකම්තුමාත් කියාවි, "අපි පක්ෂයේ ජාත්‍යන්තර ශාඛා වලට මාසෙට ඩොලර් බිලියන, මිලියන එහෙම නෙවෙයි, ඩොලර් බිලියන එකහමාරේ ගානේ ගේන්න සියල්ල ලෑස්ති කරලා තිබියදී මේ මුදල් ඇමතිවරයා IMF ගිවිසුම පෙන්නලා මේවා කරන්න පුළුවන් වැඩ නෙවෙයි කිව්වා, ඒකයි මට ඩොලර් ගේන්න බැරි වුණේ" කියලා.
ඔක්කොටම වඩා ගැලවිජ්ජාව හොයාගන්නේ කවුද? උගන්ඩා කුමාරි. උගන්ඩා කුමාරි කියාවි, "උගන්ඩාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා හංගලා තිබ්බ ඩොලර් බිලියන 18 ම මම හොයාගත්තා. අංජනන් දේවි මට උදව් කරා, ඒක ගේන්න හදනකොට අපේ මුදල් ඇමතිතුමා කිව්වා හෝව් හෝව් IMF ගිවිසුම කඩවෙන වැඩක් ඕකනම් කරන්න එපා කියලා, ඒකයි අර ඩොලර් බිලියන 18 ගේන්න බැරි වුණේ. අපිට නම් ඔන්න දොස් කියන්න එපා IMF ගිවිසුම අත්සන් කළේ අපි නෙවෙයි, රනිල් වික්‍රමසිංහ මහත්තයා" කියලා.
ඒ නිසා මේ IMF ගිවිසුම නිසා, IMF ගිවිසුම පෙන්වමින් අද්භූත මුදල් ඇමතිවරයා මේ රටට අහිමි කළ මුදල් ගැන සොයා බලා, ඒ අද්භූත මුදල් ඇමතිවරයාට දඬුවම් කිරීමට නිර්දේශ කිරීම සඳහා වහාම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළ යුතුයි අපි යෝජනා කරනවා. එතනදී, ජනාධිපතිතුමනි, ඔන්න දැන් 1948 සිට ප්‍රතික්ෂේප කළ සියලුම පරිත්‍යාග මොනවාද කියලා හොයන්න යන්න එපා, එතකොට වර්තමාන මුදල් ඇමති ගාවට එනකොට තවත් විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමි වෙලා තියේවි. ඒ නිසා 2024 ඉඳන් මේ පැත්තට හෙව්වාම හොඳටෝම ඇති.
ප්‍රශ්නය තියෙන්නේ මේ රටේ ජනතාව මේ පට්ටපල් බොරු තවමත් විශ්වාස කරනවානේ. මම මගේ උදය ගම්මන්පිල යූටියුබ් නාලිකාවේ ජනමත විමසුමක් දැම්මා, "සංගීත් විජේසූරිය මහතා පවසන අයුරින් ශ්‍රී ලංකාවට ඩොලර් පරිත්‍යාග බාරගැනීමට තහනම් කරන කොන්දේසියක් IMF ගිවිසුමේ තිබේද? ඔව් / නැත". 10% ක්ම ඔව් කියලා තිබ්බනේ.
ඉතින් මේ වගේ පට්ටපල් බොරු විශ්වාස කරන ජනතාවගෙන් 10% ක් ඉන්නවායි කියන්නේ ඊළඟ මැතිවරණයේදීත් ලංකාවට අබ සරණයි කියන එක තමයි.

This government is a joke
ReplyDeleteWell said Udaya
ReplyDeleteඅයියෝ උදය, අපේ ජන්ගි ටිකවත් ඉතුරු කරපන්කෝ, ඔක්කොම ගලවන්නේ නැතුව.
ReplyDelete