- සජීව චාමිකර
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි - ඇතුන් ජීවත්වන වනාන්තර 5 ක් රක්ෂිත තත්ත්වයට පත් කිරීමට සහ අලි මංකඩවල් 3 ක් ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යංශය විසින් සැලැසුම් සකස් කර ඇත. ඒ අතරතුර දෙමලිය-වන්දම-කුඩාඔය අලි නිජබිම හා අලි මංකඩ වැනසීමේ සැලැසුමක් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි හා වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති වලිමුණිගේ නිහාල් එක් ව සකස් කර තිබේ. එම සැලැසුම සැකසීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැල්ලවාය අලි පාලන ඒකකයේ වන සත්ව අඩවි ආරක්ෂක නිශාන්ත ප්‍රේමලාල් විසින් සිදු කර ඇත්තේ චතුරි ගංගානි හා වලිමුණිගේ නිහාල් විසින් සිදු කළ බලපෑමකට අනුව ය. මේ සැලැසුම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය හා වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බලාපොරොත්තු වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහකඩවර වැව ආශ්රිත වනාන්තර අක්කර 250 ක් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අතර බෙදා දීමට ය.
මහකඩවර වැවේ වනාන්තර ඉඩම් ජාවාරම සඳහා වන සැලැසුමක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය හා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ හිටපු සභාපති ජගත් පුෂ්පකුමාර විසින් ද රජයේ වනාන්තර ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු ගේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක කිරීමට සූදානම් විය. නමුත් අලි - මිනිස් ගැටුම පාලනය කිරීමට විද්‍යාත්මක පදනමක් මත වැඩසටහන් ක්‍රියාත්මක කරන බවට ජනතාවට පොරොන්දු වූ, ජනතා ව සමඟ සම්මුතිගත වූ හා පෙර පැවති ආණ්ඩු මෙන් ජාවාරම් නොකරන බවට පොරොන්දු වූ ආණ්ඩුවකින් මෙවන් පටු පරමාර්ථ මත හානි කර සැලැසුමක් ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයකි.
වනාන්තර අක්කර 250 ක් හා වැව් තුනක් අහිමි කර අලි - ඇතුන් 450 ක් අවතැන් කිරීම
දෙමලිය-වන්දම-කුඩාඔය අලි නිජබිම හා අලි මංකඩේ විශේෂත්වය වන්නේ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා අලින් සංක්‍රමණය වන සාම්ප්‍රදායික අලි මංකඩ වීම හා ස්ථිර අලි ගැවසුම් ප්‍රදේශයක් වීම ය. හෙක්ටයාර 2694 ක් පුරා ව්‍යාප්ත ව ඇති දෙමලිය-වන්දම-කුඩාඔය රජයේ වනාන්තරය තුළ හා ඊට මායිම් ව පිහිටි කඩවර වැව, පරළු වැව, දෙමලිය වැව, හුරත්ගමුව වැව හා ගුනේරිස් වැව ඇතුළු වනාන්තර පද්ධතියේ අලි - ඇතුන් 120 ක් පමණ ස්ථිර වාසස්ථාන කර ගෙන ජීවත් වන අතර ජූලි, අගෝස්තු හා සැප්තැම්බර් මාසවල අලි - ඇතුන් 350 ක් පමණ මෙම වන්න්තර පද්ධතිය ඔස්සේ සංක්‍රමණය වේ. මෙම අලි සංක්‍රමණික ගමන් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර කර, මෙම ප්‍රදේශය නිජබිම් කර ගත් අලි - ඇතුන් කුඩා වනාන්තර ප්‍රදේශයකට සීමා කර මහකඩවර වැව ප්‍රදේශයෙන් අලි මංකඩ හරස් කර කුඩාඔය සිට දෙමෝදර, හඳපානාගල දක්වා අලි සංක්‍රමණික මාර්ගය අලුතින් සකස් කිරීමට මේ වන විට සැලැසුම් කර ඇත. එම සැලැසුමට අනුව අලි මංකඩෙන් ඉවත් කරන මහකඩවර වැවට පහළින් පිහිටි අක්කර 250 ක් පමණ වන සමස්ත වනාන්තර පද්ධතිය ව්‍යාපාරිකයන් අතර බෙදා දීමට සූදානම් වේ. මේ ආකාරයෙන් සාම්ප්‍රදායික අලි මංකඩ හරස් කිරීම හේතුවෙන් පරළු වැව, දෙමලිය වැව හා මහකඩවර වැව අලි - ඇතුන්ට අහිමි වේ.
මෙම ඉඩම් බෙදා දීම හේතුවෙන් අලින් ගේ වාසස්ථාන අහිමි වී තෙලුල්ල, ඇතිලිවැව, කිතුල්කොටේ, උල්කන්ඳ, හඳපානාගල සහ පැල්වත්ත ජනපද ලෙස පවතින බ්ලොක් 16 හා 14 යන ගම්මානවලට හා වගා බිම්වලට අලි - ඇතුන් පිවිසීම වර්ධනය වී දරුණු අලි - මිනිස් ගැටුමක් නිර්මාණය වනු ඇත. එපමණක් නොව අලුතින් ස්ථාපිත කිරීමට සූදානම් වන අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගෝනගං ආර, රහතන්ගම, ජනාවාස 15 හා 16, ජනාවාස 10 හා 20, කුමාරගම, දඹේවැව, කුකුරම්පොල, කුමාරගම, රහතන්ගම බ්ලොක් 9 හා 11 කොටස හා තලාකොළවැව යන ගම්මාන ඔස්සේ සකස් කිරීමට සූදානම් වේ. මෙම සමස්ත ප්‍රදේශය ම ජනාවාස, උක් වගා බ්ම් හා කුඹුරු යායවල් වලින් සමන්විත වේ. මෙම සැලැසුමත් සමඟ මෙම සමස්ත ප්‍රදේශය ම දරුණු අලි - මිනිස් ගැටුමකට ගොදුරු කිරීමට චතුරි ගංගානි හා වලිමුණිගේ නිහාල් සූදානම් වේ.
ජාතික පාරිසරික පනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ අවතැන් වූ අලි - ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීම සහ ලුණුගම්වෙහෙර සිට හඳපානාගල දක්වා සාම්ප්‍රදායික ව සංක්‍රමණය වන අලි - ඇතුන් ගේ සුරක්ෂිතතාව ඇති කිරීමට දෙමලිය-වන්දම-කුඩාඔය අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට යෝජනා විය. මෙය උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2013 වසරේ දී ලබා දී ඇති කොන්දේසි සහිත අනුමැතියේ ප්‍රධාන කොන්දේසියක් ලෙස දක්වා ඇත. මෙය නෛතික ලේඛණයක් වන අතර එම කොන්දේසි උල්ලංඝනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානිට හෝ ප්‍රාදේශීය සභා සභාපති වලිමුණිගේ නිහාල්ට හෝ වන සත්ව අඩවි ආරක්ෂක නිශාන්ත ප්‍රේමලාල්ට හෝ හැකියාව නොමැත. මෙමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පර්ච්ඡේදය යටතේ සඳහන් මූලික අයිතිවාසිකමක් වන නීතියේ සමානාත්මතාව නැතහොත් නීතිය පසිඳලීම හා ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු ය යන්න උල්ලංඝනය කිරීමකි. එපමණක් නොව මූලික අයිතිවාසිකම් වන අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස හා නීත්‍යානුකූල වෘත්තියක, රැකියාවක, කර්මාන්තයක නිරත වීමේ අවස්ථාව ද මෙම හානි කර සැලැසුම මගින් අලි - මිනිස් ගැටුමක් නිර්මාණය කර ගම්මාන රැසක ජනතාවට අහිමි කර ඇත.
මීට අමතර ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ සඳහන් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ සඳහන්, ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත කොට, වැඩිදියුණු කළ යුතු ය යන්න මෙම හානි කර සැලැසුම මගින් ජනතාව අයහපත් තත්ත්වයකට පත් කර යහපත් පැවැත්ම අහිමි කර ඇත. මෙම සැලැසුමෙන් සිදු කර ඇත්තේ ජනතාව අලි - මිනිස් ගැටුමේ ග්‍රහණයට ලක් කිරීම ය. මේ සියල්ල පිළිබඳ ව ජනාධිපති මෙන් ම පරිසර ඇමතිවරයා ද විශේෂ අවධානය යොමු කළ යුතු ය.
ගම්මාන 19 ක ජනතාවට “ලස්සන ජීවිතයක්” අහිමි කිරීම
වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට ප්‍රථම ජනතා ව සමඟ සම්මුතිගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්රකාශනයේ තිරසර ජෛව ලෝකයක් - සදාහරිත ජීවිතයක් කොටසෙහි මූලධර්ම ලෙස දක්වා ඇත්තේ පාරිසරික යුක්තිය හා සාධාරණත්වය, පරිසර පද්ධති ප්‍රවේශය, පාරිසරික යහපාලනය හා පාරිසරික ආරක්ෂාව යන සංකල්පයන් ය. එපමණක් නොව සංවේදී පාරිසරික කලාප ප්‍රකාශයට පත් කර සුරක්ෂිතතාව තහවුරු කිරීම වැනි සාධනීය කරුණු ගණනාවක් සඳහන් කර තිබේ. එපමණක් නොව මෙහි සඳහන් කර ඇත්තේ අලි - මිනිස් ගැටුම පාලනය කිරීමට අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ ව නිසි අධ්‍යයනයක් සිදු කර ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ය.
නමුත් මෙම විනාශකාරී සැලැසුම හේතුවෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12 ක් සහ වැල්ලවාය හා තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගම්මාන 7 ක් දරුණු අලි - මිනිස් ගැටුමකට ගොදුරු වීම සිදු වේ. චතුරි ගංගානි හා වලිමුණිගේ නිහාල් යන අය ගේ මෙම ඉඩම් ජාවාරම් සැලැසුම හේතුවෙන් ගම්මාන 19 ක ජනතාවට ලස්සන ජීවිතයක් අහිමි කිරීම සිදු වේ.
එසේ නොවීමට නම් අප යෝජනා කරන්නේ චතුරි ගංගානි හා වලිමුණිගේ නිහාල් යන අය ගේ මහකඩවර වැවේ ඉඩම් ජාවාරම සම්පූර්ණයෙන් ම නතර කර දෙමලිය-වන්දම-කුඩාඔය රජයේ වනාන්තර අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස කඩිනමින් ප්‍රකාශයට පත් කර කඩවර වැව හා ඒ ආශ්රිත සමස්ත වනාන්තර පද්ධතිය ම සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු බව ය. මේ පිළිබඳ ව දම්මික පටබැදි පරිසර අමාත්‍යවරයා ගේ හා ඇන්ටන් ජයකොඩි නියෝජ්‍ය අමාත්‍යවරයා ගේ කඩිනම් අවධාණය යොමු වනු ඇතැයි බලාපොරොත්තු වෙමු. එසේ නොමැතිව ජුනි 5 වනදාට යෙදෙන පරිසර දිනයේ දී මෙම හානි කර සැලැසුම ක්‍රියාත්මක කළ හොත් මෙය වත්මන් ආණ්ඩුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ අලි - මිනිස් ගැටුම වර්ධනය කිරීමට සිදු කළ ඓතිහාසික වැරැද්දක් බවට පත් වනු ඇත.

Ekata kamak naha. Kala thibila wadak naha. Ema idam sanwardanaya kara pryojanayak gatha uthi.
ReplyDeleteඅලින්ට වනාතර වෙන් කල කිව්වහම
ReplyDeleteමේක තැන ඇත්ත උවමනාව
සජීව චාමිකර කියන්නේ 2015 ඉබ්රහීම් එක්කJVP ජාතික ලැයිස්තුවේ හිටපු එකෙක්.පහුගිය කාලේ කොංගෝවේ ලී කපාගෙන යන ලොරි පෙන්නගෙන මේ ආණ්ඩුව ගේන්න සෑහෙන්න කඩේ ගිය එකෙක්.දැන් මේ අනිත් පැත්ත හැරිලා දොඩවන්නේ බලාපොරොත්තු වෙච්ච තනතුරක් ප්‍රතිලාභයක් ලැබිලා නැතුව ඇති.සමහර විට මෙන්න මෙහෙම දේවලුත් ජෙප්පෝ කරනවා.මොකක් හරි දෙයක් ගැන ලොකුවට කෑ කෝ ගහලා ලොකු හා හෝ වක් ඇති කරනවා.ඊට පස්සේ හෙමිහිට සද්ද වහලා ගාන ඇරගෙන පැත්තකට වෙනව.ළඟම උදාහරණයේ පහුගිය දවස්වල පොට්ට වසන්තයා ගෑස් හිගය වෙලාවේ කහ ගෑස් සිලින්ඩරේට නිල් ගෑස් දෙනවා කියල ලොකු ටෝකක් දුන්නා.පාර්ලිමේන්තුවෙත් සිංහ ටෝක් දුන්නේ.දැන් සද්ද නෑ ගාන හම්බවෙලා.කහ ගෑස් කාරයෝ ඒ දුන්න පගාවත් එක්කම නිල් එකට වඩා 1400ක් විතර වැඩියෙන් විකුණන්නේ.
ReplyDelete