පසුගිය ද්විත්වා සුළි කුණාටු කාලසීමාව තුළ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් කුලී පදනම මත ලබාගත් වාහන සඳහා ඩීසල් ලබා ගැනීමේදී, රුපියල් මිලියන 9.2 ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂය සහ 'නුවරඑළිය සුරැකීමේ සංවිධානය' විසින් විගණකාධිපතිවරයා ඇතුළු ස්ථාන රැසකට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන සහ නුවරඑළිය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් දිනේෂ් ලංකා ගීගනගේ යන මහත්වරුන් මේ බව කියා සිටියේ, විගණකාධිපතිවරයාට සහ නුවරඑළිය දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයට ලිඛිතව පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඔවුන් ඉල්ලා සිටින්නේ නුවරඑළිය මහ නගර සභාව මගින් ඉන්ධන සඳහා මුදල් වෙන් කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන මෙම රුපියල් මිලියන 9.2 ක මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා මෙසේ පැවසීය:
"පසුගිය වසර අගභාගයේ ඇති වූ ආපදා තත්ත්වයත් සමඟ හානියට පත් වූ, නුවරඑළිය නගරය මැදින් ගලා බසින තලගල ඔය සංවර්ධන කටයුතු සඳහා එක්ස්කැවේටර් සහ බැකෝ ඇතුළු යන්ත්‍ර සූත්‍ර කුලී පදනම මත ලබා ගැනීමටත්, ඒවාට ඉන්ධන සැපයීමටත් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය මහ නගර සභාව කටයුතු කළා. එහිදී රුපියල් ලක්ෂ විස්සක මුදලක් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මහ නගර සභාවේ නිල බැංකු ගිණුම වෙත යොමු කර තිබෙනවා. එම මුදල හැරුණු කොට අනෙක් සියලුම මුදල් වියදම් කර ඇත්තේ නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රතිපාදනවලින්. එම මුදල් වියදම් කිරීමට ආවරණ අනුමැතිය ලබා දී තිබෙන්නේ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ මැදිහත්වීමෙන්."
"මෙලෙස වැය වූ මුදල්වලින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවී තිබෙනවා. ලක්ෂ අනූදෙකකට වැඩි මුදලක් ඉන්ධන සඳහා වෙන් කළ ද, එම මුදලට සරිලන පරිදි කිසිදු කාර්යයක් විනිවිදභාවයකින් යුතුව නිසි ලෙස සිදුවී නැහැ. ඒ ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචාවක් පමණක් සිදුවී ඇති බවයි අපට පෙනෙන්නට තිබෙන්නේ. ටෙන්ඩර් පටිපාටියකින් තොරව වාහන ලබාගෙන, ඒ සඳහා අක්‍රමවත් ලෙස ඉන්ධන ලබාදීම පිළිබඳව අපක්ෂපාතී විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අපි රටේ විගණකාධිපතිවරයාට සහ වගකිවයුතු ආයතන රැසකට ලිඛිතව පැමිණිලි කළා. ඒ අනුව නුවරඑළිය පළාත් පාලන කොමසාරිස් කාර්යාලයට ද අපි පැමිණිලි කිරීමට කටයුතු කළා."
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නුවරඑළිය සුරැකීමේ සංවිධානය නියෝජනය කරන දිනේෂ් ලංකා ගීගනගේ මහතා කියා සිටියේ, මහජන බදු මුදලින් රුපියල් මිලියන 9.2 ක මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය:
"මුළුමනින්ම පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී මහජනතාවට සිදුවන අගතීන් පිළිබඳව සහ රජයේ ආයතන විසින් සිදු කරන වංචා දූෂණ එළිදරව් කිරීම වෙනුවෙන් හඬ නඟන්නට නුවරඑළිය සුරැකීමේ සංවිධානය හරහා අප කටයුතු කරනවා. ඒ අනුව තමයි මේ ඉන්ධන වංචාව ගැනත් කතා කරන්නේ. රට තුළ ගැටලුකාරී තත්ත්වයන් රැසක් උද්ගත වෙලා, එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට නොහැකිව ඉන්ධන සහ බඩුබාහිරාදියෙහි මිල දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇති වෙලාවක, රජය සහ ආණ්ඩු පක්ෂයේ පාලනය ඇති පළාත් පාලන ආයතන මෙවැනි සොරකම් සිදු කිරීම අප දැඩි සේ හෙළා දකිනවා."
"මේ සියල්ල ජනතාවගේ බදු මුදල්. ජනතාවගෙන් අපි ඉල්ලන්නේ අප මේ අනාවරණය කරන දේවල් ගැන අවධානයෙන් සිටින ලෙසත්, ඔබගේ බදු මුදල්වලින් සිදුවන මෙවැනි වංචා ගැන ප්‍රශ්න කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා ලෙසත් බකී. නුවරඑළිය මහ නගර සභාවේ සිදුවී ඇති මෙම මූල්‍ය වංචාවට වගකිව යුත්තේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා වන නගරාධිපතිවරයායි. නගරාධිපතිවරයාගේ අනුදැනුම මත තමයි මේ කටයුත්ත ආරම්භ කර තිබෙන්නේ වගේම සියලු වැඩකටයුතු සඳහා මුදල් වෙන් කර තිබෙන්නේ. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුවී සාධාරණයක් ඉටු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා."
"මේ ගැටලුව උග්‍ර වීම නිසා දැන් නුවරඑළිය මහ නගර සභාවේ කසළ කළමනාකරණ රථ තැන තැන නතර වී තිබෙනවා. බූලිවලින් තෙල් රැගෙනවිත් එම රථ පණ ගැන්වීමට පවා සිදුවී තිබෙනවා."
- ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
